කොවිඩ්-19

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙක්ට කොරෝනා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 03.12)

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

අදාළ වෛද්‍යවරයා විසින් සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව එම රෝගීන්ට ප්‍රතිකාර සිදු කර ඇති බව වාර්තා වේ.කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බව සෞඛ්‍ය බලධාරීන් චෝදනා කර සිටියි.

මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද පීසීආර් පරීක්ෂණ පසුගිය නොවැම්බර් 26 වෙනිදා සිදුකර තිබෙන අතර නොවැම්බර් 27 වන දිනයේදී ලද එම වාර්තාවන්හි ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. කෙසේ වුවත්, තමන්ට පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා නොවැම්බර් 27 වන දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය උසුලන මෙම වෛද්‍යවරයා බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන අයෙක් වන අතර ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අනුව කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.

Rivira FB Group Rivira Youtube
To Top