Covid-19

මහර බන්ධනාගාර කැරැල්ලෙන් මිය ගිය රැඳවියන් ආදාහනයට අධිකරණයෙන් අවසර

නොවැම්බර් 29 දින දියත් වූ මහර බන්ධනාගාර කැරැල්ල අතරතුර මියගිය රැඳවියන් 11 දෙනා අතුරින් 04 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීම්වලින් බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි අධිකරණය හමුවේ දෙසැම්බර් 16 දින අනාවරණය වී තිබෙනවා.

ඒ සිදුවීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී යි.

කෙසේ වෙතත් අදාළ රැඳවියන් 11 දෙනාගෙන් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සිදුවිය හැකි ඉදිරි අනතුරු සළකා එම මෘත දේහයන් ආදාහනය කිරීමට වත්මන් නීතිය අනුව අවශ්‍ය වී ඇත. එහෙත් අදාළ රැඳවියන්ගේ ඥාතීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ සිරුරු භූමදානයට අවසර දෙන ලෙසයි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ඊට දැඩි විරෝධය පළකරමින් කියාසිටියේ එසේ සිදුකළහොත් විශාල හානියක් සිදුවිය හැකි බවයි.

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රශ්නගත රැඳවියන් සිව් දෙනාගේ සිරුරු ආදාහනය කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර සිටි වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අදාළ මෘත දේහයන් භූමදානය කිරීම සඳහා ඥාතීන් සිදුකළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top