Business

MCC ගිවිසුම නිල වශයෙන් නවතා දමයි, ශ්‍රී ලංකාව අතහැර සියෙරා ලියෝන් තෝරගනී

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් මඟින් ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිතව තිබූ රුපියල් බිලියන 89ක මුදල නැවැත්වීමට එම්.සී.සී මණ්ඩලය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසනවා. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනංවා ගැනීමේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් අඛණ්ඩව සහය ලබා දීමට සහතික වන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා. තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම සහ ගිවිසුම සමග සම්බන්ධ වීම අඩු බව හේතුකොටගෙන අදාළ තීරණය ගෙන ඇති බවයි.

නිවේදනය මගින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස සිටිමින් කොවිඩ් – 19 වසංගතයෙන් මීදීමට ඇමරිකා එක්සත් ජනපදය සහය ලබා දෙන බවයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ආයතනයේ දෙසැම්බර් 15 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව සමඟ යෝජිත ගිවිසුම අත්හිටුවා දැමීමට තීරණය කර තිබිණි.

ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රුපියල් බිලියන 89 ක මුදල, සිය සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගී බව අඩුකරගැනීමට සහ ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවල්වලට ලබාගත හැකි බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අදාළ නිවේදනය මඟින් සඳහන් කරයි. එම්.සී.සී ප්‍රදානයක් පිරිනැමීමේදී අදාළ රට පිළිබිඹු කරන හිමිකාරීත්වය, විනිවිදභාවය සහ ප්‍රදානයේ ප්‍රථිඵල සඳහා වගවීම යන කරුණු වැදගත් වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ආර්ථික වර්ධනය වැඩි කරන ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා එම්.සී.සී. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ‘සියෙරා ලියොන්’ දේශය පස් අවුරුදු වැඩසටහනක් සඳහා තෝරාගෙන ඇත. මීට අමතරව, ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කර ඇති එම ආයතනයේ වැඩසටහනක් සඳහා ‘කිරිබාටි’ තෝරා ගෙන තිබෙනවා.

ලෝකයේ දරිද්‍රතාවයේ ඉහළම ඇති රටවල් අතර ඇති ‘සියෙරා ලියොන්’, මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් 189ක් අතරින් 182 වන ස්ථානයේ පසුවේ. ජනගහණයෙන් 60%ක පමණ දෛනික ආදායම ඩොලර් 1.25කටත් අඩු ප්‍රමාණයක් වේ. වසර 11ක් පැවති සිවිල් යුද්ධයෙන් පසුව 2002 සිට යම් ආර්ථික වර්ධනයක් පෙන්වුව ද ‘සියෙරා ලියොන්’ හි විරැකියාවත් සාක්ෂරතාවයත් ඉහළ අගයක් ගනියි.

‘සියෙරා ලියොන්’ මේ වන විට එම්.සී.සී. හි ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි හවුල්කරුවෙකු වන අතර එම වැඩසටහන 2021 දී සම්පූර්ණ වේ. ඒ අනුව, එම වැඩසටහනෙහි අංශ ප්‍රතිසංස්කරණ සඳහා සියෙරා ලියොන්හි අඛණ්ඩ කැපවීම සහ එම්.සී.සී. සමඟ ශක්තිමත් සම්බන්ධතාවය මත ඉදිරියේ දී එම්.සී.සී. හි සංයුක්ත වැඩසටහන සඳහා පස් අවුරුදු ගිවිසුමකට එළඹෙනු ඇත.

1979 දී මිත්‍රත්ව ගිවිසුමක් අත්සන් කළ දා සිට මධ්‍යම පැසිෆික් සාගරයේ එක්සත් ජනපදයට ‘කිරිබාටි’ වැදගත් හවුල්කරුවෙකු වූ අතර එම්.සී.සී. සමඟ ගිවිසුමට එළඹීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය කිරිබාටි සමඟ සම්බන්ධ වීමට මුල පුරයි.

මීට අමතරව, සොලමන් දූපත් සමඟ ඩොලර් මිලියන 23 ක වැඩසටහනක් ද එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා. මෙම වැඩසටහන මඟින් ආර්ථික වර්ධනයට එරට ඇති ලොකුම බාධක ආමන්ත්‍රණය කිරීම සඳහා සොලමන් දූපත් රජයට සහාය වීම අරමුණු කර ගෙන ඇති බව එම්.සී.සී. ආයතනය සඳහන් කරයි. එහිදී, සොලමන් දූපත්හි දැව ක්‍ෂේත්‍රයේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ සංචාරක ආයෝජන සීමා කරන ඉඩම් සඳහා අනාරක්ෂිත ප්‍රවේශය, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ මිශ්‍ර මූල්‍ය වැනි එම්.සී.සී. හි උපායමාර්ගික ප්‍රමුඛතා වල අංග වැඩසටහන සමඟ ඒකාබද්ධ කර ඇත.

තවද, සමගාමී සංයුක්ත වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබීමට එම්.සී.සී හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බෙනින්, බුර්කිනා ෆාසෝ, කෝට් ඩි අයිවෝර් සහ නයිජර් යන රටවල් තෝරා ගෙන ඇත. සංයුක්ත සංවර්ධනය සඳහා මලාවි, මොසැම්බික්, ටිමෝර්-ලෙස්ටේ සහ ටියුනීසියාව ද ප්‍රතිපත්ති හා ආයතනික ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ඉතියෝපියාව, කෙන්යාව සහ ගැම්බියාව තෝරා ගෙන ඇත. දැනටමත් සංයුක්ත වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන ඉන්දුනීසියාව, කොසෝවෝ සහ ලෙසෝතෝ යන රටවල එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද තිරණය කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top