,

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තෙමසක් තුළ දී

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව දෙසැම්බර් 18 වන දින ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස්විය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් කමිටුවට සාමාජිකයන් 13 ක් ඇතුළත්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර, සබරගමුව විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය පී.අයි. යාපා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්.බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර්. පුන්‍යවර්ධන, ආචාර්ය ඩී.එස්. කුරුප්පු ආරච්චි, ආචාර්ය යසින්තා මාපටුන, රිස්වි සහිඩ් යන විද්වතුන් ඇතුළත් වේ. ගොවි ජනතාව නියෝජනය සඳහා මෙම කමිටුව ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් පත්කොට තිබීම ද විශේෂත්වයක්.

දේශපාලන භේද, වෙනත් බලපෑම් කිසිවක් නොසලකා මාස 03 ක් තුළ ජාතියේ අවශ්‍යතාවයක්ව පවතින ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කර දෙන ලෙස කමිටුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී ඉල්ලා සිටියා. තමා 2010 ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බවත්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ධනාත්මක වෙනසක් ඒ තුළින් සිදු වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා වසර ගණනක සිට කතාවකට පමණක් වරින් වර සාකච්ඡා වන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පොළොවේ යතාර්ථයක් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියා.

සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වස විෂ නැති ආහාරවලින් ස්වයංපෝෂිත මෙන්ම ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කොට ආණ්ඩු මාරුවන විට කෘෂිකර්මයේ ප්‍රතිපත්ති මාරු නොවන සේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට දැඩි උනන්දුවක් හා අවශ්‍යතාවයක් ඇති බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊට අවශ්‍ය සහාය රජයට ලබාදෙන ලෙස මෙම විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියා.

2003, 2007, 2010 යන වකවානුවල ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු සිදුවූ බවත් එහෙත් එය යතාර්ථයක් නොවූ බවත් මෙහිදී අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පෙන්වා දුන්නා. කැනඩාවේ, ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අන්තර්ජාලය හරහා බාගතකොට අපේ රටේ නම දමා ඉදිරිපත් කිරීම වෙනුවට, දේශීයත්වය, පරිසරය, සෞඛ්‍ය, අපේ ගොවි ජනතාව, නව තාක්ෂණය, ගොවියා ව්‍යවසායකයෙකු කිරීම ඇතුළු රටට ගැලපෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කළා.

මෙම විද්වත් කමිටුව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස්කිරීමට සීමා නොවී කෘෂිකර්මයේ තීන්දු තීරණ ගැනීම සඳහා මසකට හෝ සුදුසු වකවානුවකට වරක් රැස්වෙමින් කටයුතු කිරීම කාලෝචිත බවත්, ලෝකයේ බොහෝ දියුණු රටවල් එය ක්‍රියාත්මක කරන බවත් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පෙන්වා දුන්නා.

ගොවිජනතාවගේ නිෂ්පාදනයෙන් විශාල මුදලක් වැයකරන්නේ පොහොර, කෘමි නාශක හා වල් නාශක මෙන්ම බීජ මිලදී ගැනීමට බවත් ඒවා දේශීයව නිෂ්පාදනය කෙරෙහි නව ප්‍රතිපත්තියට ඇතුළත් විය යුතු බවත් මහාචාර්ය පී.අයි. යාපා මෙහිදී යොජනා කළා. රටින් පිටවන විශාල මුදලක් රටට ඉතිරිකර ගැනීමටත් ගොවියාගේ අතමිට සරු කිරීමටත්, එවැනි ක්‍රියාමාර්ග රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ඉටුකළ යුතු බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගොවිජනතාව වෙනුවෙන් කමිටුව නියෝජනය කරන ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් මෙහදී කියා සිටියේ බිම් මට්ටමේ ගොවියාගේ අදහස්, යෝජනා, ගැටළු පාලනාධිකාරියට යොමුවීමේ ගැටළුවක් ඉතිහාසය පුරාම ඇති බවයි. ගොවියාගේ එවැනි අදහස් ගොනුකොට කමිටුවට ඉදිරිපත් කරන ලෙසත්, ඊට අදාළ සියළු සහාය ලබාදෙන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී ගොවි සම්මේලනයේ සභාපති සමරකෝන්ට දැනුම් දුන්නා.

කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවයක් බව විද්වත් කමිටුව අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා දම්වැල අවබෝධ කර ගනිමින් කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් සකස්විය යුතු බව ද විද්වත් කමිටුවේ අදහස වුණා.

කාබනික පොහොර අධිකාරියක් ස්ථාපත කිරීම, බීජ නිෂ්පාදනයෙන් රට සන්නද්ධ කිරීම, බෝග 16 න් රට ස්වයංපෝෂිත කිරීම, කෘෂි තාක්ෂණයෙන් ගොවියා පොහොසත් කිරීම, කෘෂි අපනයන ගම්මාන ඇතුළු ගොවියාට දැනෙන වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. පොදු අරමුණක් වෙනුවෙන් රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සම්මත කිරීම තම එකම අරමුණ බවත් ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම, සහාය ලබාදීමට සූදානම් බවත්, කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව හමුවේ අමාත්‍යවරයා කියා සිටියා. සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි තොරතුරු එක්රැස්කොට, සාකච්ඡාකොට, රටට ඵලදායී හෙටට ගැලපෙන සාර්ථක ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කරදීමට මෙහිදී විද්වත් කමිටුව එකඟත්වය පළකළ අතර කඩිනමින් එය සකස්කර අවසන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ද මෙම විශේෂ සාකච්ඡාවට එක්ව සිටියා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා විසි් 13 දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව පත්කොට ඇත.

Rivira Ads