කොවිඩ්-19

දකුණු පළාතේ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

දකුණු පළාතේ කොවිඩ් – 19 ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ සඳහන් කරයි.

දකුණු පළාතෙන් දෙසැම්බර් 19 වන දින කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද ඔහු පවසයි. එම ආසාදිතයින් අතරින්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් ද, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

එම වාර්තා වූ ආසාදිතයින් අතරින් 08 දෙනෙකු ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් ද, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 40 දෙනෙකු ද, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ද, බලපිටිය,වැලිගම, තංගල්ල හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් එක් ආසාදිතයෙකු බැගින් ද වාර්තා වි ඇති බව ද චාමර මහගමගේ පවසයි.

මේ වන විට, ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 ආසාදිතයින් 392ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක් වාර්තා වී ඇත.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති අතර ඉන් 167 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද, 68 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් ද, 23 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වූ ආසාදිතයින් වේ.

මේ වන විට දකුණු පළාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ සඳහන් කරයි.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තුන්දූව බටහිර සහ තුන්දූව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙසැම්බර් 19 වන දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි. ඒ, තුන්දූව ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 දෙනෙකු දෙසැම්බර් 19 වන දින හඳුනාගැනීමත් සමගය.

Rivira FB Group Rivira Youtube
To Top