දේශීය පුවත්

කෝටි 6ක මුදල් සමඟ ඇල්ලූ කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටයි

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මෙරටදී අත්අඩංගුවට ගත් විශාලම මුදල වූ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙසැම්බර් 19 වැනි දින සිදු කරන ලද වැටලීමකදී කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබිය දි සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ දෙසැම්බර් 20 වැනි දින පොලිස් මූලස්ථානයේ දි පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා සිදුකර ඇති එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරමට අදාළව අත්අඩංංගුවට ගත් සැකකාරිය, මියගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ”සොත්ති උපාලි” නැමැත්තාගේ දියණිය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මත්කුඩු ජාවාරම සිල්ලර වශයෙන් සිදුවන්නේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව බව මෙම විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මෙම ජාවාරම හරහා මසකට කෝටි 20ක පමණ මත්කුඩු අලෙවි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙසැම්බර් 20 දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත එම වැටලීම සිදුකර තිබේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුල සිදුකළ වැටටීම්වලදී හොරොයින් කිලෝ එක්දහස් හයසිය පහක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. එමෙන්ම හෙරොයින් සහ අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සැකකරුවන් හැට එක්දහස් තුන්සියයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සදහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top