දේශීය පුවත්

සමාජ මාධ්‍ය පරිශීලකයින් ලියාපදිංචිය ගැන ඇමති කෙහෙළියගෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නියාමනය සම්බන්ධයෙන් තමා දැක්වූ අදහස් ඇතැම් පාර්ශව විසින් විකෘති කර ප්‍රචාරය කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, රජයේ අරමුණ වන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචිය නොවන බවයි.

මහා පරිමාණ බහුජාතික සමාගම්වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මධ්‍යම ප්‍රමාණයේ දේශීය සමාගම්වලට බලපෑම් එල්ල වන බවත් ඒ පිළිබඳව විදෙස් රටවල්වලින් පවා අදහස් පළ කර ඇති බවත් අමාත්‍යවරයා නිවේදනය මඟින් පැහැදිලි කරයි. එම හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් විශාල මුදලක් විදෙස් රටවල්වලට ඇදී යන බවත් එය අරමුණු කර ගනිමින් විදේශීය ඩිජිටල් මෙහෙයුම් සිදු කරන්නන් පමණක් ලියාපදිංචියට රජය සලකා බලන බව එම නිවේදනයෙන් අමාත්‍යවරයා පැහැදිලි කරයි.

එසේ නොමැතිව සමාජ මාධ්‍ය පරිශීලිකයින් හෝ ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචියට රජය අරමුණු කර ගෙන නොමැති බව ද අමාත්‍යවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සමාජ මාධ්‍ය පරිශීලකයින් හා මුහුණු පොතේ සැරිසරන්නන් ලියාපදිංචි කළ යුතු බවට පළ කළ අදහස් සම්බන්ධයෙන් වැඩිදෙනාගේ අවධානය යොමු විය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ, ‘ “සමාජ මාධ්‍ය හරහා ඇතිවෙලා තියෙන විශාල විෂමතාවයන් සහ පෙළක් වෙලාවට ඉතාම නීතිවිරෝධී අන්දමින් කෙරෙන කටයුතු පාලනය කළයුතුයි කියලා අපෙ මතයක් තියෙනවා. ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය සහ මුහුණු පොතේ සැරිසරන අය ලියාපදිංචි වීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ” යනුවෙන්ය.

කෙසේවෙතත්, දෙසැම්බර් 21 වන දින නිකුත් කළ නිවේදනයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ තමා එහදී අදහස් කළේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ලියාපදිංචිය නොවන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top