නුවරඑළිය දිස්ත්‍රික්කයේ, තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන සඳහන් කළේ, දෙසැම්බර් 20 වැනි දින සිදු කරන ලද පීසීආර් පරික්ෂාවේ ප්‍රතිඵල අනුව සභාපතිවරයාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බවයි.
ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර සිට ඇති නමුත් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව සභාපතිවරයා විසින් රැස්වීම් කිහිපයකට ද සහභාගී වී ඇති බව වාර්තා වේ.
සභාපතිවරයා සහභාගී වූ එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නො(ර්)වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, නුවරඑළිය ආගරපතන ප්‍රාදේශීය සභාව දෙසැම්බර් 21 වන දින සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ මේ වන විට පියවර ගෙන තිබේ. අදාළ ප්‍රාදේශීය සභාවේ සේවකයන් පී.සී.ආර්. පරික්ෂාවන්ට ලක් කොට එහි ප්‍රතිඵල මත යළිත් ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රාදේශීය සභාව විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සෞඛ්‍ය අංශ පවසයි.

