Covid-19

මුස්ලිම් ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද! සිංහල හා දෙමළ මෘත දේහයන් ආදාහනය කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන සිංහල හා දෙමළ ජාතිකයින්ගේ මෘත දේහයන් තවදුරටත් ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් පමණක් අධි ශීතකරන තුළ තැන්පත් කර තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එලෙස අධි ශීතකරණවල තැන්පත් කර ඇත්තේ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ විශේෂ වරප්‍රසාදයක් ලෙස එලෙස මුස්ලිම් වැසියන්ගේ දේහයන් පමණක් අධි ශීතකරණවල තැන්පත් කර ඇත්තේ රජයේ වියදමින් බවයි. එහෙත් සිංහල සහ දෙමළ වැසියන්ගේ මෘත දේහයන් සාමාන්‍ය පරිදි ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ තත්වය සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ ද මේ වනවිට දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනා අදහස් දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හී සටහනක් තබමින් සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන කැළුම් ජයසුමන පවසන්නේ “මුස්ලිම් මරණ අයිස්කර රඳවාගෙන හොරගල් ඇහිලීම යනු කොරෝනා රෝගය නිසා මිය ගිය සිංහල බෞද්ධයින්ගේ පාංශුකූලයවත් නැතිව ආදාහනය වෙද්දී ඉවසාගෙන සිටින සිංහල ජනතාවගේත්, ක්‍රිස්ත්‍රියානි හා හිංදු ජනතාවගේත් හදවත් අයිස් කිරීමක්” බවයි.

ෆේස්බුක් හී සටහනක් තබමින් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසන්නේ “දේශපාලන ඩීල් කාරයන් විසින් අත්මනෝමතික ලෙස මැදිහත් වී කොවිඩ් මරණ භූමිදානය කිරීමට ඉඩ ලබා දීමට ගෙනයන වැඩ පිළිවෙලට දැඩි ලෙස විරුද්ධ” වන බවයි.

පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම සමාජ ජාල තුළ ක්‍රියාකාරීව අදහස් දක්වන කතිකාචාර්ය මහින්ද පතිරණ ෆේස්බුක් හී සටහනක් තබමින් පවසන්නේ “කොරෝනා වසංගතයෙන් මියෙන මුස්ලිමුන් විදෙස් බිමක භූමිදානයට යැවීම සිංහලයින් ලෙස, බෞද්ධයින් ලෙස අප ලැජ්ජා විය යුතු කරුණකි. අප සෙසු ජනකොටස් වෙත පෙන්විය යුත්තේ උදාරත්වයයි (magnanimity). උදාරත්වය යනු ශක්තිමත් බවේ සංකේතයකි…. කළ යුත්තේ ජනශුන්‍ය භූමියක් තෝරාගෙන එහි එම සිරුරු භූමිදානය කිරීමයි. ලංකාවේ ජනශුන්‍ය කුඩා දූපත් උතුරුකරයේ ඕනෑතරම් තිබේ. ඒවාහි මෙම කාර්ය සිදුකිරීම කිසිවෙකුට ගැටළුවක් නැති.” බවයි.

මේ අතර, කොවිඩ් වෛරසයෙන් මිය යන මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට එරෙහිව විපක්ෂය සහ තවත් විවිධ දේශපාලනඥයින් සහ පුද්ගලයින් විසින් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය වන පරිදි සංවිධානය කර තිබුණි.

මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගනේසන් ඇතුළු පිරිසක් සහභාගී විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව පිළිබඳ නැවත සළකා බැලිය යුතු බවයි. ඒ කමිටුව තුළ සිටින්නේ ජාතිවාදීන් බවට රිෂාඩ් බදියුදීන් චෝදනා කළේ ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top