මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් (Z -Score) ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබූ අතර පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති වරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස් වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපති වරයා මෙහි නම් කර තිබිණි.
විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි
මේ හේතුවෙන්, තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත් , විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ සාධාරණ කඩඉම්( ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

