කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අප්‍රේල් 11 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය මේ වනවිටත් මෙරට ක්‍රියාත්මක නීතියයි. එහෙත් සිය ආගමික විශ්වාසය මත ඊට කිසිඳු එකඟතාවයක් නොදක්වන මුස්ලිම් ජාතිකයින් විසින් එම තීරණයට එරෙහිව පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය අනුමත කරමින් පෙත්සම් ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රිගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ජාතිකයින් භූමදානය ඉල්ලා දිගින් දිගටම සටන් කරමින් සිටී. ඔවුන්ගේ තර්කය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කර ඇත්නම්, තවත් රටවල් 190ක් පමණ ක්‍රියාත්මක කරන භූමදානය මෙරට තුළ ක්‍රියාත්මක කළ නොහැක්කේ මන්ද යන්නයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාර්ගෝපදේශය අනුව ජල මූලාශ්‍රවලට ආසන්න නොවන පරිදි භූමදානය කළ යුතු වුවත් ශ්‍රී ලංකාවේ භූගත ජල මට්ටම ඉහළින් තිබීම හේතුවෙන් එය ප්‍රායෝගික නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවේ මතය වී තිබුණි. නමුත් මේ වනවිට මුස්ලිම් ජාතිකයින් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ දැනුමක් ඇති මහාචාර්යවරුන්‌ගෙන් සමන්විත තාක්ෂණික කමිටුව ජාතිවාදීන් ලෙස හැඳින්වීමට කටයුතු කරයි. දෙසැම්බර් 23 දින බොරැල්ල කනත්ත ඉදිරිපිට සමගි ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාවයේ දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද එලෙස චෝදනා කළේය.
මේ අතර පසුගිය දා ගාල්ල දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙකු කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පසු ඔහුගේ සිරුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසන් තීරණයක් ලැබෙන තුරු ශීතාගාරයේ තැන්පත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 21 වන දින නියෝගයක් නිකුත් කිරීමත් සමඟ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින් භූමිදානය පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබුණි. ඒ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීමට සූදානම් බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වීම හේතුවෙනි.
අදාළ නඩුව ගොනු කර තිබූ මිය ගිය තැනැත්තාගේ පුතා සඳහන් කර තිබුනේ ආදාහනය කරන්නේ නම් භාර නොගන්නා බවයි. එමෙන්ම, කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. කෙසේවෙතත්, අදාළ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ ශීතාගාරයේ තැන්පත් කර තිබීමට විරුද්ධව එම රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනියුක්තව සේවය කරන සියළු සේවකයින් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ සියළුම වෛද්‍යවරුන් දෙසැම්බර් 23 වන දින සිය රාජකාරිවලින් ඉවත් වූ අතර ඔවුන් ඒ පිළිබඳව ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමට ද කටයුතු කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබුණේ, මීට පෙර නිකුත් කර ඇති චක්‍ර ලේඛ අනුව කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ය. ඒ අනුව, රාජකාරි කටයුතුවලින් ඉවත් වූ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් යළිත් රාජකාරි කටයුතුවලට එළඹීමට කටයුතු කළා.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 දේහයන් භූමිදානය කිරීමට ඉල්ලීම් සිදු කරන පසුබිමක පසුගිය නොවැම්බර් මාසයේ මුල දී ඩෙන්මාර්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියට දායක වූ බවට හෙළි වූ මුගටින් (‘මින්ක්’ නම් මුගටි විශේෂය) මිලියන 15ක් ඝාතනය කර වළ දමන ලද අතර පසුව හෙළි වූ විද්‍යාත්මක පර්යේෂණයක් මත යළිත් ගොඩදමා පිළිස්සීමට පසුගිය දෙසැම්බර් 21 වන දින එරට රජය කටයුතු කරනු ලැබුවා. එයට හේතු වී තිබුණේ, වල දමන ලද එම සිරුරු දිරාපත් වීමත් සමඟ භූගත ජල මූලාශ්‍රයන්වලට එම සිරුරුවලින් වෛරසය එකතු විය හැකි බවට සිදු කරන ලද පරීක්ෂණවලිිිින් අනාවරණය වී තිබීමයි. ඒ අනුව, ඩෙන්මාර්ක රජය විසින් සිදු විය හැකි අවදානම සලකා බලමින් වහාම මිලියන 15ක් පමණ වූ මුගටින්ගේ සිරුරු යළි ගොඩ දමා පිළිස්සීමට කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම, මේ පිළිබඳව අදහස් දක්වමින් විද්‍යාඥයින් ද පවසන්නේ, කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයින් භූමිදානය මඟින් භූගත ජල මූලාශ්‍රවලට කොවිඩ්-19 වෛරසය එකතු වීමේ ඇති අවදානම පිළිබඳව ඩෙන්මාර්කයේ සිද්ධිය කදිම උදාහරණයක් බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින්, කෝවිඩ් – 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයුම් කමිටුවේ, සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ, ‘ඩෙන්මාර්කයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය, ඩෙන්මාර්කයේ තාක්ෂණික විශ්වවිද්‍යාලය මේ දෙගොල්ලො එකතුවෙලා පර්යේෂණයක් සිදු කළා මේ මුගටින් භූමිදානයෙන් සිදු වන හානිය පිළිබඳව. ඒකෙදී, ඒගොල්ලන්ට අවබෝධ වුනා භූගත ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය සහ වෛරසය එළියට නිකුත් වන නිසා ඒගොල්ලෝ වහාම භූමිදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15ම ආපහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කළා.
ඒක හොඳ උදාහරණයක් ලංකාවට. මේ විකාරරූපි ස්වරූපයකින් දඟලනවානේ මේ දේහ ආදාහනය ද භූමිදානය ද කියලා. මේ අවස්ථාව ඒකට හොඳ උදාහරණයක් තමයි ඩෙන්මාර්කයෙන් සපයන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දීලා තියෙන්නේ, ඒ තීන්දුව අනුව අපිට දැන් එක නීතියක් තියෙන්නේ, ඒ එක නීතියට අනුගත වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්’ යැයි පැවසුවා.
තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන පවසන්නේ, මළ සිරුරු භූමිදානයෙන් පසුව එය නරක්වීමේ දී එම සිරුරු මඟින් ඇතිවන ඕජස්වලින් ජන මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකි බවයි. වෛරසය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන බැවින් ඉදිරියේ දී ඇති වන තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව පුරෝකථනය කළ නොහැකි බවත් මහාචාර්යවරයා පවසනවා. මහජනතාවටග් ආරක්ෂාව පිළිබඳව සලකා බැලීමේ දී ජල මූලාශ්‍ර ආරක්ෂා කිරිම ඉතාමත් වැදගත් බවයි ඔහු සඳහන් කළේ.
“ලංකාවේ මිනිස්සු බහුතරයක් බොන්නේ ළිං වතුර, භූමදානය කරන ගොඩක් රටවල් බොන්නේ පිරිපහදු කළ පිරිසිඳු ජලය”
එමෙන්ම, කැනඩාව වැනි සම්පූර්ණයෙන්ම පිරිපහදු කළ ජලය පරිභෝජනය කරන රටක් සමඟ ශ්‍රී ලංකාව වැනි රටක් සංසන්දනය වැරදි බව ද මහාචාර්යවරයා පවසනවා. යම්කිසි සැකයක් ඇත්නම් සැකය දුරු වෙන තුර මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සලකා බැලිය යුතු බවත් මහාචාර්ය චන්ද්‍රා ජයසේන අවධාරණය කරනවා.
මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජල කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වන්නේ වල දැමීම හා පිළිස්සීම යන කාරණය රඳා පවතින්නේ, අදාළ රටේ තත්ත්වයන්ට අනුව බවයි. ඒ අනුව, වල දැමීමේ දී සම්මත බොඩි බෑග් එකක් භාවිත කළ යුතු බවත් එය භූගත ජලමට්ටමට ආසන්නව සිදුනොකළ යුතු බවත් අදාළ මාර්ගෝපදේශනමාලාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් මහාචාර්යවරයා පවසනවා. මළ සිරුරු දිරාපත් වීමේ දී මළ සිරුරු තුළ පවතින වෛරසය යම්කිසි කාලයකට පෙර ජලයට එකතු නොවේ කියන එක අපට නිගමනය කළ නොහැකි බැවින් මේ අවස්ථාවේ දී පවතින හොඳම විකල්පය වන්නේ පිළිස්සීම බවයි මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා පවසන්නේ.

