ශ්‍රී ලාංකික ආනයනකරුවන් පිරිසක් විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් යුක්‍රේනයෙන් මිලට ගෙන සිදු කරන ලද කොත්තමල්ලි ඇණවුමකට කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් එවා ඇති බව රේගුව පවසයි.
පිටකොටුවේ ව්‍යාපාරිකයින් අට දෙනෙකු විසින් මෙලෙස ගෙන්වා ඇති බහාලුම් ප්‍රමාණය 28ක් වන අතර එයින් 24ක් කොළඹ වරායේ ද, අනෙක් 4 රේගු බහලුම් පරීක්ෂා කරන අංගනයේත් මේ වන විට ගබඩා කර තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ, ‘ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ පත්‍රයක් ඉදිරිපත් කළ බහාලුම් 28ක් රේගු භාරයට ගෙන විමර්ශන කටයුත්තක් සිදු කළා. නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී සොයා ගනු ලැබුවා මේ බහාලුම්වල කොත්තමල්ලි අඩංගු නොවන බවත් ඒ වගේම කිසියම් කෘෂිකාර්මික ශාක කොටස්, ඒ වගේම පස් සහිත අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි අඩංගු බවත් ඔවුන් සොයා ගත්තා.’
‘මේ බහාලුම් 28 පිටකොටුව ප්‍රදේශයේ ආනයනකරුවන් අට දෙනෙක් තමයි ආනයනය කරලා තිබුනේ. ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව කිසියම් අතරමැදියෙක් විසින් ඔවුන්ව රැවටීමකට ලක් කර ඇති බව ප්‍රකාශ කරන්නේ. ඒ අතරමැදියාගෙනුත් ශ්‍රී ලංකා රේගුව ප්‍රශ්න කරගෙන යනවා.’
‘ඒ වගේම කිසිම අවස්ථාවක පැළෑටියක් හෝ පැළෑටියක කොටසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට හැකියාවක් නැහැ. ශාක සංරක්ෂණය පනත යටතේ එය සපුරා තහනම්. ඒ වගේම, කසළ අඩංගු බහාලුම් රැගෙන ඒමේ හැකියාවක් නැහැ. මේ අනුව බලන විට මේ වැරදි සියල්ලටම මේ භාණ්ඩ යටත් වෙනවා.’
කොත්තමල්ලි ලෙස සඳහන් කොට තිබූ මේ භාණ්ඩවල වටිනාකම ඔවුන් දක්වා තිබෙනවා ශ්‍රී ලංකා රේගුවට මිලියන 75කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මෙහි අඩංගුව තිබුනේ කොත්තමල්ලි නෙමෙයි අපද්‍රව්‍ය. ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කර තිබෙනවා වහාම අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 28ම ප්‍රතිඅපනයනය කිරීමට. ඒ ප්‍රකාරව අපි මේ සම්බන්ධව කටයුතු කිරිමට ඉදිරියේ දී පියවර ගන්නවා. වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතිනවා’ යනුවෙනි.
මේ අතර, අදාළ බහාලුම් 28 පිළිබඳව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිළි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත දෙසැම්බර් 25 වන දින උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේවෙතත්, මෙම බහාලුම් මෙරට ව්‍යාපාරිකයින් විසින් ගෙන්වන ලද්දේ ද, නැතහොත් ඔවුන් රැවටීමකට ලක් කර ඇත්තේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. මෙරට පුද්ගලික ආයතනය රවටා ඇතැයි අදාළ ව්‍යාපාරිකයින් සිදු කරන ප්‍රකාශය මෙරට බලධාරින් රැවටීමට යොදන ලද උපක්‍රමයක්ද යන්නත් විධිමත් සොයා බැලීමක් සිදු කළ යුතු බව අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි තිබෙනවා.
කෙසේ වුවද, කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුළු විය හැකි බැවින් එම බහාලුම් සියල්ලම යුක්රේනයේ අදාළ සමාගම වෙත ප්‍රති අපනයනය සඳහා කටයුතු කරන බවත්, බේසල් සම්මුති කාර්යාලයට මේ සම්බන්ධව පැමිණිලි කරන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

