කොවිඩ්-19

කොවිඩ් මෘත දේහ ශීතකරණවල තබා ගැනීමේ උත්සාහය ගැන මන්ත්‍රී දොලවත්ත ජනපතිගෙන් විමර්ශනයක් ඉල්ලයි

කොවිඩ් – 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් දැඩි විරෝධතාවයක් එල්ලවෙමින් පවතින අවස්ථාවක දී එලෙස මිය යන මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කරනවාද භූමිදානය කරනවාද යන්න පිළිබඳව විශේෂඥ මතය ලැබෙන තෙක් එම සිරුරු අධි ශීතකරණවල තබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් ලිපියක් යොමු කර තිබෙනවා. ආණ්ඩුවට විශාල ජනතා අපවාදයක් හා ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවෙමින් පවතින අවස්ථාවක සෞඛ්‍ය අංශවල විශේෂඥ මතය ලැබෙන තෙක් කොවිඩ් – 19 මෘත ශරීර ශීතකරණ තුළ තබා ගැනීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්නම් එය සෞඛ්‍ය අංශවල මතය ඉවත දැමීමක් බැවින් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් ජනාධිපතිවරයාගෙන් අදාළ ලිපිය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම,වඩාත් අවධානය ලබා දිය යුත්තේ ජීවත්ව සිටින මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මිස මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු පිළිබඳව නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

තවද, දැනට පවතින නීතිමය තත්ත්වය තුළ කොවිඩ් – 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය සඳහා පමණක් ඉඩ ලබා දී ඇති නමුත් එසේ නොවන ආකාරයට කටයුතු කරන්නේ කාගේ නියෝගයකට දැයි සොයා බැලීමට කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, මෙම සිද්ධිය එක් ජාතියකට හෝ ආගමකට පහර ගැසීමක් නොවන බවත් නීතිය සැමට සමාන විය යුතු බවත් ඔහු එම ලිපියෙන් අවධාරණය කරයි.

ඔහු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

“අතිගරු ජනාධිපතිතුමණි,

කොවිඩ්-19 රෝගය වැළදී මිය යන මුස්ලිම් සහෝදර ජනතාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධවයි.

කොවිඩ්-19 වසංගතය මුළු ලෝකයම වසාගෙන පැතිරී ඇති මහත් ව්‍යසනයකි. වර්ෂ 2020 මුල් කාර්තුවේදී ඔබතුමාගේ සෘජු නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය ඉතා සාර්ථකව මැඩ පැවැත්වීමට හැකියාව ලැබීම ඉමහත් සතුටට කරුණකි. එම කාල සීමාවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් ගේ මෘත දේහයන් කිසිම භේදයකින්, වෙනසකින් තොරව ආදාහනය කිරීම සිදු කරන ලදී. එහිදී සෞඛ්‍ය අංශ වල පූර්ණ අධීක්ෂණයෙන් ඔවුන්ගේ නිර්දේශ මත එම කටයුතු සිදු කිරීමට වග බලා ගනු ලැබිනි.

බෞද්ධ ප්‍රජාවටද, හින්දු ප්‍රජාවටද, ක්‍රිස්තියානි ප්‍රජාවටද අනෙකුත් සියළුම ජන කොටස් වලටද තමන්ගේ අවසාන කටයුතු වල දී අනන්‍ය වූ සිරිත් විරිත් සම්ප්‍රදායන් හා ආචාර ධර්ම පද්ධතීන් ඇත, මුස්ලිම් සහෝදර ජනතාවට ද එය එසේමය. ඒ සියල්ලට අප එක හා සමානව ගරු කරමු. නමුත් මෙම ගෝලීය වසංගත තත්වය හමුවේ පොදු මහත් සියළුම ජනතාව කොවිඩ්-19 වසංගතය තව දුරටත් රටේ ප්‍රචලිත විම වැලැක්වීම උදෙසා තම තමන්ට අනන්‍යවූ සිරිත් විරිත්, ආගමික සම්ප්‍රදායන් වලින් බැහැර වී කොවිඩ්-19 රෝගය වැළදී මිය යන සියළුම දෙනාගේ මෘත දේහයන් ආදාහනය කිරීමට ඥාතීන් සිය කැමැත්ත පළ කල අතර ඒ සඳහා අවශ්‍ය දායකත්වයද ලබා දුන්නේය.

එම කාල සීමාවෙන් පසුව දෙවන රැල්ල තුළ කොවිඩ්-19 වසංගතය රටපුරා පැතිරෙන අවස්ථාවේදී ද සිදු වූ කණගාටුදායක මරණ සම්බන්ධයෙන් ද සිදු කරන ලද්දේ සුපුරුදු පරිදි ආදාහන කටයුතු සිදු කිරීමයි. නමුත් මෙම ක්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙල අතරතුරේ දීම “සිලෝන් තවුහීද් ජමාත්” නැමැති සංවිධානය මගින් කොවිඩ්-19 රෝගය වැළදී මිය යන සහෝදර මුස්ලිම් ප්‍රජාව භූමදානය කිරීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇතැයි සැකසු ව්‍යාජ තොරතුරු සඳහන් ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

එම ලිපිය තුලින් රටේ පොදු ජනතාවට ගම්‍ය වූයේ හුදෙක් සෞඛ්‍ය අංශ මගින් නොව රජයේ තනි අවශ්‍යතාවය මත මෙලෙස සිදු කර ඇති බවත් භූමදානය සඳහා ඇති තහනම ඉවත් කර ඇති බවත්ය. එම සිඳුවීම ජනතාව අතර අනවශ්‍ය කැළඹීමක් මෙන්ම රජය සම්බන්ධව ජන ප්‍රසාදය විශාල ලෙසින් හානි වීමටත් හේතුවිණි. එම අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ගෞරවණීය අවධානයට මා විසින් යොමු කරන ලද අතර පොලිස්පතිතුමා මගින් එම ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.

සිදුවීම් කෙසේ වුවත් නැවතත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන ජනතාවගේ මෘත ශරීරයන් ආදාහනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ අවධාරණය කිරීමත් සමඟ ඒ අවස්ථාවේ දී නිර්මාණය වී තිබු සමාජ නොසන්සුන්තාවය මදකට වියැකි යන්නට විය. නමුත් ඉතා කෙටි කාල සීමාවකදී යලිත් වතාවක් මෙම ප්‍රශ්නය කරළියට පැමිණ ඇත. ගරු අධිකරණය ඉදිරියේ ද මේ සම්බන්ධව විභාග වු සියළු නඩු වලදී සෞඛ්‍ය අංශ වල තීරණය මිස ආගමික පසුබිම් හී කාරණා කිසි ලෙසකින් වත් වැදගත් නොවන බව නැවතත් තහවුරු කර ඇත.

කරුණු කාරණා එසේ තිබියදී යම් යම් මුස්ලිම් තරුණ අන්තවාදි කණ්ඩායම් බිහි වීම සඳහා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම් සහෝදරවරුන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම වස්තු බීජයක් වී ඇති බවට ගරු අධිකරණ අමාත්‍ය අලි ශබ්‍රී මහතා පවසයි. එම සිදුවීම් තුලම විපක්ෂය ද තම සුපුරුදු දේශපාලන අකටයුතු කම් ආරම්භ කර ඇත.

එමෙන්ම තව දුරටත් සෞඛ්‍ය අංශ වල විශේෂඥ මතය විමසන තෙක් අධි ශීතකරණ තුළ මෙම මෘත ශරීර රදවා තබා ගන්නා බවටද සමාජය තුල විශාල මතවාදයක් ගොඩ නැගී ඇත. එය එසේ සිදු කරන්නේ නම් පැහැදිලිවම අප සෞඛ්‍ය අංශ වල නියෝග නොතකා කටයුතු කිරීමකි. කරුණාකර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

දැනට නීතිමය තත්ත්වය ද පවතින්නේ කොවිඩ්-19 වසංගතය වැළදී මිය යන සියළුම ජනතාවගේ මෘත ශරීර ආදාහනය කිරීම සඳහායි. එසේ නොවන ආකාරයට කටයුතු කරන්නේ කාගේ නියෝගයකට දැයි සොයා බැලිය යුතු බව අවධාරණයෙන් පැවසිය යුතුය. මෙය එක් ජාතියකට හෝ ආගමකට පහර ගැසීමක් නොවන බව විශේෂයෙන්ම සඳහන් කල යුතුය. නීතිය සැම දෙනාටම සමාන විය යුතුය.

තවද අප විසින් අවධානය යොමු කළ යුත්තේ ජීවත්ව සිටින මහ ජනතාවගේ ආරක්ෂාව සමබන්ධව මිස, මිය ගිය අයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් නොවන බව ප්‍රකාශ කල යුතුව ඇත. මිය ගිය හිතවතුන් කෙරෙහි අපගේ ඇති ගෞරවය කිසිදු අයුරකින් අඩුවක් නොමැති බවද පැවසිය යුතුය. නමුත් මෙම අනවශ්‍ය ප්‍රශ්නය ඔබතුමාටත්, අප ආණ්ඩුවටත් විශාල ගැටළුකාරි මෙන්ම අතිවිශාල ජනතා අපවාදයක් උද්ගත වන තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වන හෙයින් සෞඛ්‍ය අංශ වල විශේෂඥ මතය එළි දක්වනු තෙක් පූර්වයේ හා දැනට පවතින නීති ප්‍රතිපාදන ප්‍රකාරව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන අයගේ මෘත ශරිර ගොඩ ගසා නොතබා කඩිනමින් ආදාහනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි,
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,

උපුටා ගැනීම අවසානයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top