ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

නව ව්‍යවස්ථාව සම්මත කරන තුරු පළාත් සභා මැතිවරණයක් එපා – මහා සංඝරත්නය එක හඬින් කියයි

පළාත් සභා පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ සංවර්ධනය රට තුළ සිදු වී නැති බවත් ස්වාභාවිකව මරණයට පත් වී ඇති පළාත් සභාා මඟින් නව ව්‍යවස්ථාවක් ඇති කිරිමට විශාල බාධාවක් ඇති වන බවත් මහා සංඝ රත්නය සඳහන් කරයි. එබැවින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව ද පළාත් සභා ක්‍රමයට මහා සංඝරත්නය විරෝධය පළ කරන බව ද සඳහන් කරයි.

ජාතික විද්වත් භික්ෂු සංගමය දෙසැම්බර් 27 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.

එහිදී අදහස් දක්වමින් පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් සඳහන් කළේ, යම් ප්‍රශ්නයක් විසඳීම සඳහා පළාත් සභා පිහිටුවිම සිදු කළ නමුත් එම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බවයි. පළාත් සභා ක්‍රමය තුළ රට තව දුරටත් ද්‍රරිද්‍රතාවයටත්, අගාධයටත් පත් වීම හැර වෙන දෙයක් නොමැති බවයි විපස්සී හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන් එම අවස්ථාවේදී තම අදහස් ප්‍රකාශ කරමින්, ‘පළාත් සභා පිහිටුවීම පිළිබඳව එදත් අපි අපේ විරෝධය පළ කළා. හේතුව මොකද ඒ බලාපොරොත්තු වන ආකාරයට සංවර්ධන කාර්යයක් මේ පළාත් සභාවලින් සිද්ධ වෙන්නේ නැති නිසයි. අපි දන්නවා මන්ත්‍රීවරු 455 දෙනෙක් මේ මුළු පළාත් සභා නවයෙම ඉන්නවා. වර්ෂයකට වැය කරනවා කෝටි 853ක්. බලන්න කොයිතරම් විශාල වියදමක් ද කියලා. ඒ නිසා අපි දකින්නේ මේ පළාත් සභා හැම එකක්ම සුදු අලියෙක් හැටියටයි’ යනුවෙන් සඳහන් කළා.

එමෙන්ම, පළාත් සභා ක්‍රමය මේ රටට අවශ්‍ය නැති බවට පසුගිය වසර කිහිපය තුළ ඔප්පු වී හමාර බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් එහිදී පැවසුවා. එමෙන්ම, යම්කිසි හෙයකින් ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් එය සියතින් ගෙල සිඳ ගැනිමක් බවයි මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කළේ.

මේ පිළිබඳව තම අදහස් පළ කරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,’පළාත් සභා ක්‍රමය මේ රටට අවශ්‍ය නැහැ කියන එක පසුගිය වසර කිහිපය ඇතුළේ ඔප්පු වී හමාරයි. ස්වභාවික මරණයකට ලක්වෙච්ච පළාත් සභාවක් තියෙන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පුල පුලා කියා සිටි නව ව්‍යවස්ථාව සකස් කිරීමට එයින් විශාල බාධාවක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම බාධාවක් නෙමෙයි, ව්‍යවස්ථාව සිහිනයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට විශේෂයෙන් කියන්න ඕනේ, ‘අනිච්චාවත සංඛාරා’ කියන්න ඕනේ තැන ‘භවතු සබ්බ මංගලං’ කියන්න එපා කියලා. ආයේ කතා දෙකක් නැහැ මේකට වැඩ කළොත් ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමක් කරනවා කියන එක විතරක් මතක් කරන්න ඕනේ.’ යනුවෙන් පැවසුවා.

එම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළ ආචාර්ය පූජ්‍ය මාදුරුවේ ධම්මිස්සර හිමියන් ‘වියත්තු තුන්දෙනෙක් තමන්ගේ ශිල්ප දක්වන්න ලෑස්තිවෙනවා. කැලේ මැදකදී මිය ගිය කොටියෙකුගේ ඇට කටු ටිකක් දැකලා එක වියතෙක් කියනවා මට පුළුවන් මේ කොටියා සකස් කරන්න. ඇට ටික සකස් කරලා සම්, මස්, ලේ සහිත කරනවා. හැබැයි පණ දෙන්නේ නෑ. දෙවෙනි වියතා කියනවා මට පුළුවන් මේ කොටියට පණ දෙන්න කියලා. තුන්වෙනි වියතා කියනවා එපා ඒ දේ කරන්න. මහා විනාශයක් සිද්ධ වෙනවා කියලා. නෑ මං ඒක කරනවා. මගේ වියත්කම පෙන්නන්න මේ දේ කරනවා කියලා. ඉතින් එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා අර වියතා ගහකට නගිනවා. දෙවැනි එක්කෙනා කොටියට පණ දෙනවා. කොටියා අර අනිත් දෙන්නව කාලා විනාස කරනවා. ඒ වගේ සියතින් ගෙල සිඳ ගැනීමේ අවස්ථාවකටයි අපි මේ යමින් සිටින්නේ.’ යනුවෙන් සඳහන් කළා.

ආචාර්ය පූජ්‍ය පිටුවල උපාලි හිමියන් ද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා. එහිදී, ‘අද පළාත් සභාව මරණයට පත් වෙලා පෙට්ටියටත් දාලා තියෙන්නේ. අපි අහනවා ආණ්ඩුවෙන් ඇයි අවසානයට ඒ මිනී පෙට්ටියට ඇණය ගහන්නේ නැතුව කඩ ඇණයක් වෙලා මේක කොහොමහරි දුවන්න සලස්සන්නේ කියලා. ඒ නිසා කාටවත් සේලයින් දෙන්නවත් අවශ්‍යයත් නැ. කාටවත් පණ දෙන්න අවශ්‍යයත් නැ. මේ ඇදෙන පළාත් සභාවට අවසාන වශයෙන් මිනී පෙට්ටියට ඇණේ ගහන්න රජයට අපි ආරාධනා කරනවා.’ යැයි උන්වහන්සේ පැවසුවා.

එමෙන්ම,මේ අවස්ථාවේ දී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ පැවසුවේ රජය සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි. ‘මේ කාලයේ දී අපිට ධනය ඉතාම අවශ්‍යයි. එහෙම අවශ්‍ය කාලයක මැතිවරණ ආදිය පැවැත්වීම ගැන හිතන්න එපා කියන පණිවිඩයක් මේ අවස්ථාවේ දී අප ලබා දෙනවා සියළුම ජනතාව වෙත. ඒකේ නිකන් මුදල් ටික විනාස කරන කටයුත්තක්’ යනුවනේ උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, රට ව්‍යාකූල තත්ත්වයක පවතින අවස්ථාවේ දී මැතිවරණ පැවැත්වීමෙන් වළකින්නැයි මල්වතු අස්ගිරි උභයමහා විහාර මහාසංඝරත්නය පවසනවා. පළාත් සභාමැතිවරණය නොපැත්විය යුතු බවට රජයට බලකරන ලියවිල්ලකට අත්සන් ගැනීම සදහා ජාතික සංවිධාන එකමුතුව දෙසැම්බර් 27 වන දින මල්වතු අස්ගිරි මහාවිහාරය වෙත පැමිණි අවස්ථාවේ දී මහාසංඝරත්නය මේ බව සදහන් කළා.

එහිදී තම අදහස් පළ කරමින්, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ මේ අවස්ථාවේ දී රජය කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීම සඳහා ඉක්මන් නොවිය යුතු බවයි.

එහිදී, ‘කොරෝනා වසංගතයෙන් අපේ රටම විශාල අර්බුදයකට පත්වෙච්ච මොහොතක, ආර්ථික වශයෙන් විශාල ගැටලු මතු වී තිබෙන අවස්ථාවක, ජන ජීවිතය විශාල වශයෙන් අඩාලව තිබෙන මොහොතක, පළාත් සභා මැතිවරණ තැබීම රජය විසින් මේ අවස්ථාවේදී තීරණය කිරීම ඉතාමත් අදූරදර්ශී කාර්යයක් හැටියටයි අපි කල්පනා කරන්නේ. මේ අවස්ථාවේ දී රජය විසින් කළ යුත්තේ ප්‍රථමයෙන් ඒ ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය, ආර්ථික පහසුකම් නඟා සිටුවීමටයි. ඒ වෙනුවෙන් ඇප කැප වීමයි.’ යනුවෙන් පූජ්‍ය මැදගම ධම්මානන්ද සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top