,

ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයින් 10 දෙනා මෙරට වෙබ් අඩවියක් මගින් එළි දක්වයි

2020 වසර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික,සමාජීය, ආර්ථික, දේශපාලනික සංදර්භය තුළ කැපී පෙනෙන ලෙස ප්‍රබල මැදිහත්වීම් සිදුකරමින් මෙරට ගමන්මග වෙනස් කිරීමට දායකත්වය දුන් මෙරට බලවත්ම පුද්ගලයින් දස දෙනා සම්බන්ධයෙන් “ගිරය” වෙබ් අඩවිය වාර්තාවක් එළි දක්වා තිබෙනවා.

එහිදී මෙරට ගමන්මගට කැපී පෙනෙන බලපෑමක් කළ පුද්ගලයින් 100 දෙනෙකු මූලික වශයෙන් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයින් 10 දෙනා ප්‍රසිද්ධියට පත් කිරීමට “ගිරය” සංස්කාරක මණ්ඩලය තීරණය කර තිබුණි. එම වෙබ් අඩවිය පවසන්නේ අදාළ පුද්ගලයා රටට සිදුකළ ‘බලපෑම’ ධනාත්මක බලපෑමක් ද ඍණාත්මක බලපෑමක් ද යන්න සැළකිල්ලට නොගත් බවයි.

බලවත්ම පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුව තුළ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් සිටි බව පවසන එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ඒ අතරින් වඩා බලවත් පුද්ගලයින් 10 දෙනා තෝරාගත් බවයි.

ඒ අනුව, 2020 වසරේ ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයා ලෙස “ගිරය” වෙබ් අඩවිය නම් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිවයි. කෙසේ වෙතත් අවසන් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නොමැති වීමත්, ආගමික නායකයෙකු නොමැති වීමත් විශේෂිත තත්වයකි. එසේම, ඒ අතරට කාන්තාවක් ඇතුළත්ව නොමැති වීම ද විශේෂිත තත්වයක් වන අතර මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ජාල හිමිකරුවන් තිදෙනෙකුම ඇතුළත්ව සිටීම සුවිශේෂී තත්වයකි.

එසේම එම ලැයිස්තුව තුළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නීතිපති දප්පුල ද ලිවේරා ඇතුළත්ව සිටී.

“ගිරය” ලැයිස්තුව මෙසේය.

  1. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි
  2. ජෝර්ජ් ස්ටුවර්ට් පුද්ගලික සමාගමේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යපාරික, නීතිඥ දිලිත් ජයවීර
  3. සිරස මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යාපාරික කිලී රාජමහේන්ද්‍රන්
  4. හිරු මාධ්‍ය ජාලයේ සභාපති, ව්‍යාපාරික රේන ද සිල්වා
  5. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  6. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
  7. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ
  8. සමගි ජනබලවේගයේ නායකත්ව මණ්ඩල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
  9. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
  10. නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා
Rivira Ads