කොවිඩ්-19

කොරෝනා එන්නත්වල නවතම තත්ත්වය පිළිබඳ ඔබ දැනගත යුතු තොරතුරු

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවන් විඳින ලෝකයේ ජනතාවට බලාපොරොත්තුවක් ලබා දෙමින් මේ වන විට කොවිඩ් – 19 වෛරසයට එරෙහිව එන්නත් කිහිපයක්ම සාර්ථක මට්ටමේ ප්‍රතිඵල ලබා දෙමින් පවතින බව බටහිර වෛද්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඒ අතරින්, වඩාත්ම සාර්ථක වී ඇති බව පැවසෙන්නේ ෆයිසර්, මොඩර්නා හා ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත (AstraZeneca) යන එන්නත් ය.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ (AstraZeneca) එන්නත

ඔක්ස්වර්ඩ් සරසවිය මඟින් නිපදවූ එන්නත සඳහා දෙසැම්බර් 30 වන දින බ්‍රිතාන්‍ය රජයේ අනුමැතිය හිමි වූයේ සායනික පරීක්ෂාවන්වලින් කොවිඩ් – 19 වෛරසයේ රෝග ලක්ෂණ සඳහා 70% ක පමණ ප්‍රගතියක් ළඟා කරගනිමින්ය. මාත්‍රාවන් දෙකකදී ලබා ගත යුතු මෙම එන්නත 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව තහවුරු වී ඇති බව එම ඖෂධය සොයාගත් විද්‍යාඥයින් පවසනවා.

මෙම එන්නත දැනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් 20,000කට අධික පිරිසකට එන්නත් කර ඇති අතර වයස්ගත පුද්ගලයින්ගේ ද ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවක් ඇති බවට සනාථ වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ඔක්ස්වර්ඩ් සරසවිය මඟින් නිපද වූ එන්නතෙහි අනෙක් විශේෂත්වය වන්නේ බෙදා හැරීමට ඇති හැකියාවයි. එයට හේතුව නම් එන්නත ගබඩා කිරීම සඳහා අඩු උෂ්ණත්වයක් සහිත ගබඩා පහසුකම් අවශ්‍ය නොවීමයි.

මේ වන විට, මහා බ්‍රිතාන්‍ය විසින් පුද්ගලයින් මිලියන 50ක් සඳහා මෙම එන්නතෙන් මිලියන 100ක් ඇණවුම් කර ඇත. එමෙන්ම, ඉන්දියාව විසින් එන්නත් මිලියන 500ක් ද, යුරෝපා සංගමය විසින් එන්නත් මිලියන 400ක් ද, ඇමරිකා එක්සත් ජනපදය එන්නත් මිලියන 100ක් ද, කැනඩාව එන්නත් මිලියන 20ක් ද, ජපානය එන්නත් මිලියන 120ක් ද, ඉන්දුනීසියාව සහ බ්‍රසීලය විසින් එන්නත් මිලියන 100ක් ද, මෙක්සිකෝව එන්නත් මිලියන 77.4ක් ද, ඔස්ට්‍රේලියාව එන්නත් මිලියන 33.8ක් ද, චිලී රාජ්‍යය එන්නත් මිලියන14.4ක් ද, ඊජිප්තුව එන්නත් මිලියන 30ක් ද, ආර්ජන්ටිනාව එන්නත් මිලියන 22ක් ද, ඉක්වදෝරය එන්නත් මිලියන 5ක් ද ඇණවුම් කර ඇත.

ෆයිසර් – බයොන්ටෙක් (Pfizer – Biontec) එන්නත

2020 නොවැම්බර් මාසයේ දී සාර්ථක බව ලොවට ඉදිරිපත් කළ ෆයිසර් – බයෝඑන්ටෙක් සමාගමෙහි කොරොනා එන්නත 95%ක කාර්යක්ෂමතාවයක් පෙන්වා තිබෙන බව එම එන්නත සොයා ගත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මාත්‍රා දෙකක් මඟින් ලබා ගත යුතු මෙම එන්නතෙහි පළමු මාත්‍රාව ගෙන සති තුනකින් දෙවන මාත්‍රාව ලබා ගත යුතු බව ඔවුන් පවසයි.

ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් 43,000කට පමණ මේ එන්නත ලබා දී තිබෙන අතර මහා බ්‍රිතාන්‍යය විසින් මෙම එන්නතෙන් මිලියන 40ක් ලබා ගැනීමට නියමිතව ඇත. ජී.පී.එස් උපකරණයක් සම්බන්ධ කර ඇති වියළි අයිස් සහිත පෙට්ටියක බහාලු මෙම එන්නත, සෙල්සියස් අංශක සෘණ 70ක උෂ්ණතවයක් සහිත ස්ථානයක මාස 6ක පමණ කාලයක් ගබඩා කර තබා ගත හැකි බව එම එන්නත සොයාගත් සමාගම පවසනවා.

දෙසැම්බර් 02 වැනි දින මෙම එන්නත මහා පරිමාණ භාවිතය සඳහා මහා බ්‍රිතාන්‍ය රජය අනුමැතිය ලබා දුන්නා. ඒ, එම එන්නත භාවිතය සඳහා අනුමත කළ ප්‍රථම රට බවට පත් වෙමින් ය. ඒ අනුව, අනුමැතිය ලබා දී දින 6කට පසුව 90 හැවිරිදි මාග්‍රට් කීනන් (Magret Keenan) හට ප්‍රථම වරට එන්නත ලබා දෙන ලදී. ඉන්පසුව, මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 600,000 අධික පුද්ගලයින් ප්‍රමාණයකට මෙම එන්නත ලබා දී තිබෙනවා.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම එන්නත් මිලියන 100ක් ඇණවුම් ඇති අතර එයින් එන්නත් 2021 ජුලි 31 වන විට එම ඇණවුම් ලබා ගැනීම අවසන් වනවා. එමෙන්ම, යුරෝපා සංගමය විසින් ද එන්නත් මිලියන 300ක ප්‍රමාණයක් ඇණවුම් කර තිබෙනවා. කැනඩාව එන්නත් මිලියන 20ක් ද, ජපානය එන්නත් මිලියන 120ක් ද, මෙක්සිකෝව එන්නත් මිලියන 15.5ක් ද, ඔස්ට්‍රේලියාව සහ චිලී රාජ්‍යය එන්නත් මිලියන 10 බැගින් ද, පේරු එන්නත් මිලියන 9.9ක් ද, ඉක්වදෝරය එන්නත් මිලියන 2ක් ද, කොස්ටාරිකා එන්නත් මිලියන 3ක් ද, නවසීලන්තය එන්නත් මිලියන 1.5ක් ද ඇණවුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඖෂධ හෝ එන්නත්වලට බරපතල ආසාත්මිකතා තිබෙන පුද්ගලයන් ෆයිසර්/බයෝඑන්ටෙක් (Pfizer/BioNTech) එන්නත ගැනීමෙන් වැළකී සිටිය යුතු බව දෙසැම්බර් 10 වැනි දින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කළා.

මොඩෙර්නා (Moderna) එන්නත

භාවිතයේ දී ෆයිසර් එන්නත මෙන්ම සමාන වුවද එයට වඩා පහසු ආකාරයට මොඩෙර්නා එන්නත ගබඩා කර තබා ගත හැකිය. එය සෙල්සියස් අංශක සෘණ 20කට තරම් වූ උෂ්ණත්වයක දී ගබඩා කරමින් මාස 6ක පමණ කාලයක් තබා ගත හැකි බව එම එන්නත සොයාගත් විද්‍යාඥයින් පවසනවා. එමෙන්ම, පළමු මාත්‍රාව ලබා දී සති 4කට පසුව දෙවන මාත්‍රාව ලබා ගත යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම එන්නත 94.5%ක පමණ කාර්යක්ෂමතාවයකි පෙන්නුම් කර තිබෙන බව එම විද්‍යාඥයින් පවසන අතර සායනික පරීක්ෂණ සඳහා 30,000ක පමණ පුද්ගලයින් ප්‍රමාණයක් යොදා ගෙන ඇති බව පැවසෙනවා.

මෙම එන්නතෙන් මිලියන 5ක ප්‍රමාණයක් මහා බ්‍රිතාන්‍යය විසින් ඇණවුම් කර තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් මිලියන 100ක් ඇණවුම් කර තිබෙනවා. කැනඩාව එන්නත් මිලියන 56ක් ද, ජපානය එන්නත් මිලියන 50ක් ද, ස්විට්සර්ලන්තය එන්නත් මිලියන 4.5ක් ද ඇණවුම් කර තිබෙනවා.

රුසියාවේ ස්පුට්නික් V එන්නත

92%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කර ඇති බව කියන ස්පූට්නික් V එන්නත ඔක්ස්ෆර්ඩ් එන්නත හා සමාන වන අතර මේ වන විට බොලීවියාව සහ ඇල්ජීරියාව යන රටවල්වලින් මෙම එන්නත සඳහා ඇණවුම් ලබා දී ඇත. පුද්ගලයින් 40,000ක් පමණ යොදාගෙන සායනික අත්හදා බැලීම් සිදු කර ඇති පැවසෙනමෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර ප්‍රමාණයක උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු බව විද්‍යාඥයින් පවසනවා.

එමෙන්ම, රුසියාව එරට අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

චීනයේ Sinopharm එන්නත

චීනයෙ රජයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන Sinopharm මඟින් නිපදවන ලද මෙම එන්නත සඳහා එරට රජය විසින් මහජනතාව වෙත ලබා දීමට පසුගිය දෙසැම්බර් 31 වැනි දින අනුමැතිය ලබා දී ඇත. අත්හදා බැලීම් අවස්ථාවන් තුනක දී 79%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීම හේතුවෙන් මෙම අනුමැතිය ලබා දී ඇති බව එරට රජය සඳහන් කරයි. කෙසේ වෙතත්, මේ වන විටත් චීනයේ නිපදවන ලද එන්නත් කිහිපයක් සඳහා එරට රජය විසින් හදිසි තත්ත්වයන් සඳහා අනුමැතිය ලබා දි තිබෙනවා. නමුත් මහා පරිමාණ වශයෙන් භාවිතා කිරිම සඳහා අනුමැතිය හිමි වූ පළමු එන්නත Sinopharm ආයතනය විසින් නිපද වූ එන්නතයි.

Janssen එන්නත

Janssen Pharmaceutical Companies ආයතනය මඟින් නිපදවන Janssen එන්නත දැනට බ්‍රිතන්‍යයේ පුද්ගලයින් 6000කට පමණ ද ලොව පුරා පුද්ගලයින් 30,000කට පමණ සායනිකව අත්හදාබැලීම් සිදු කර ඇති බව පැවසෙනවා.

එමෙන්ම, චීනයේ Sinovac ආයතනය මඟින් නිපදවන එන්නතක් බ්‍රසීලයේ සිදු කරන ලද සායනික අත්හදා බැලීමක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් එහි කටයුතු අතරමඟ දී නවතා දමා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top