,

කොවිඩ් ආසාදිත මෘත දේහ භූමිදානයෙන් ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ මෘත දේහයන් භූමිදානයෙන් ගැටලුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එම සංගමය විසින් ජනවාරි 01 වන දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, දැනට පවතින විද්‍යාත්මක තොරතුරුවලට අනුව කොරෝනා ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ දේහ මෙරට තුළ මිහිදන් කිරීමට අවසර ලබාදිය හැකි බවයි.

දෙසැම්බර් 31 වන දින සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව,

  • කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.
  • වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.
  • පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ.
  • භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකිය.
  • භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමුවූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.
  • ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසාය.
  • ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවලදී පවා මළ සිරුරු භූමදානය කෙරේ.

යන විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමිදානයට අවසර ලබා දිය හැකි බව වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය වෙනුවෙන් පවතින වෛද්‍යවරුන්ගේ ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්වයක් උද්ගත විය හැකි බව සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා පවසයි.

Rivira Ads