විදේශ

ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි පහරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දහස් සංඛ්‍යාත ආධාරකරුවන් ජනවාරි 06 වන දින වොෂින්ටන් නුවරට රැස්ව විරෝධය පළ කර තිබෙනවා. පසුව විරෝධතාකරුවන් විසින් කොංග්‍රස් මණ්ඩලය රැස්වන කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කර තිබෙනවා. ඒ අනුව, ගොඩනැගිල්ලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය අමතරව ජාතික ආරක්ෂක බලමුළුව ද කැඳවීමට පියවර ගෙන ඇති අතර වොෂින්ටන් නුවරට හදිසි ඇඳිරි නීතිය ද නගරාධිපතිවරයා පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පළමුවෙන්ම කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අතර පසුව තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, මේ වන විට පුද්ගලයින් 52 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීති රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව යටතේ ය.

ජනාධිපතිවරණයෙන් තේරී පත් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරීමට ජනවාරි 06 වැනි දින නියමිතව තිබූ අවස්ථාවේ දී මෙලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ අධාරකරුවන් විසින් වොෂින්ටන් නුවරට පැමිණ අයුතු ලෙස කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ට්‍රම්ප් ආධාරකරුවන් විසින් පැය 03ක පමණ කාලයක් කැපිටල් ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි අතර එම අවස්ථාවේ දී රැස්ව සිටි කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන යාමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබිණි.

තවද, වොෂින්ටන් නුවර උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ ට්විටර් ගිණුම පැය 12ක කාලයක් සඳහා ද, ෆේස්බුක් ගිණුම පැය 24 ක කාලයක් සඳහා ද අවලංගු කිරීමට අදාළ සමාගම් පියවර ගෙන ඇත. එමෙන්ම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන වරට නිකුත් කළ ට්විටර් පණිවිඩ කිහිපයක් මකා දැමීමට ද ට්විටර් සමාගම කටයුතු කර ඇත.

රට පාලනය කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් ජනාධිපතිවරයාට නොමැති වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන වගන්ති ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයා ඉවත් කිරිමට හැකියාවක් ඇත් ද යන්න පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ අතර, වොෂින්ටන් නුවරට පනවා ඇති හදිසි ඇඳිරි නීති තත්ත්වය දින 15කින් දීර්ඝ කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් ජනවාරි 20 වන දින ද යටත් වන ලෙස වොෂින්ටන් නගරාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top