දඹුල්ල නිස්සංක හංදියේ පිහිටි තානායමේ කාමරයක් තුළ මියගොස් සිටිය දී සොයා ගත් මැණික් ව්‍යාපාරිකයා කොවිඩ් ආසාදිතයෙකු බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, එම ව්‍යාපාරිකයා මියගොස් සිටි ස්ථානයේ ස්ථානීය පරික්ෂාවන් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්, දඹුල්ල නගර සභාවේ සේවකයින් කිහිපදෙනෙකු, මල් ශාලාවේ සේවකයින්, දඹුල්ල රෝහලේ නිලධාරීන් සහ තානායමේ කාර්ය මණ්ඩලය වහාම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇත.
මියගොස් සිටින රත්නපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අවිවාහක මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර ජනවාරි 05 වැනි දින රාත්‍රියේ දී දඹුල්ල පිහිටි තානායමක තිබියදී සොයා ගත් අතර ඔහු කුමක් සඳහා දඹුල්ලට පැමිණියේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
දඹුල්ල තානායමේ කළමනාකරු පවසන ආකාරයට ඔහු ජනවාරි 05 වන දින උදෑසන 8.30ට පමණ තානායමට පැමිණ ඇති අතර පස්වරුවේ දී තමන් රැඳී සිටි කාමරයට වඩා විශාල කාමරයක් අවැසි බව පවසමින් කාමරය මාරු කර ගෙන ඇත. පසුව රාත්‍රී 10.00ට පමණ ඇණවුම් කර තිබූ රාත්‍රී ආහාරය ද රැගෙන තානායමේ සේවකයෙකු කාමරය වෙත ගොස් කතා කළ ද ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් දොරේ සිදුරකින් කාමරය තුළ බලද්දී මැණික් ව්‍යාපාරිකයා ගෙල වැළලාගෙන තිබූ අයුරු දැක ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව දඹුල්ල පොලීසිය විසින් පරික්ෂණ සිදු කරමින් පවතියි.

