කොළඹ නගරසභා බල සිමාවෙන් බැහැරව දිවයින පුරා ප්‍රදේශයන් හි අනපේක්ෂිත අයුරින් ආසාදිතයින් වාර්තා වීමෙන් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි. එමෙන්ම, මේ වන විට එම තත්ත්වය පාලනය කිරීමේ දී ගැටලු කිහිපයක් ද මතු වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.
එහිදී, ආසාදිතයින් විසින් අවශ්‍ය සහයෝගය ලබා නොදී තොරතුරු වසන් කිරීමත්, පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමත්, කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පසුව පලා යාමත් දැඩි ගැටලුකාරී තත්ත්වයක් බවයි ඔහු පවසන්නේ. මේ පිළිබඳව තොරතුරු සඳහන් කරමින් සභාපතිවරයා මෙසේ සඳහන් කළා.
‘දැනට ලංකාවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය කොළඹ නගරසභා සීමාවේ යම් තරමකට පාලනය වෙලා තිබුණත්, ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල, කොළඹින් බැහැර ප්‍රදේශවල අනපේක්ෂිත අයුරින් රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන් වව්නියාව ප්‍රදේශයේ රෝගීන් 56 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අහඹු සාම්පල් වාර්තා කිරීමෙන් වාර්තා වෙලා තියෙනවා. මේ වගේම, ගාල්ල දිස්ත්‍රික්කයේ, සබරගමුව පළාතේ, ඒ වගේම වයඹ පළාතේ, අනෙකුත් දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම දකුණු පළාතේ දිස්ත්‍රික්කවලත් මේ වෙද්දී රෝගීන් වාර්තා වෙනවා. අනපේක්ෂිත විදියට. ඒ නිසා කොළඹින් බැහැර ප්‍රදේශවල අනු පොකුරු වර්ධනය වෙමින් ඉතාම අවදානම් තත්ත්වයකට රට යමින් තියෙනවා. ඉතාම අවදානම්කාරී තත්ත්වයක් කොළඹින් බැහැරව නිර්මාණය වෙමින් තියෙන හින්දා ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක අවදානම්කාරී විදියට රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ රෝගියෙකුට නිරාවරණය වීමේ හැකියාව තියෙනවා කියන එක අවධාරණය කරනවා. ‘
‘ඒ වගේම දැනට ලංකාවේ මේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ගැටලු කිහිපයක් පැන නැඟිලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන තුළ රෝගීන් සත්‍ය තොරතුරු අනෙකුත් සෞඛ්‍ය නිලධාරී කාර්යාල වෙත වාර්තා නොකිරීම බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවල මේ වෙද්දි අපිට ඔවුන් සහයෝගය සැපයීම සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ වගේම ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වුනත් ඔවුන් රෝගීන් බව වාර්තා වුනාම යම් යම් සැඟවීම් වෙනවා. මේ නිසා අපි බරපතල ගැටලුවලට මුහුණ දෙමින් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී අනෙකුත් ප්‍රදේශවල විශේෂයෙන්ම වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරව සිදු නොකිරීම නිසා අපි පළමුපෙළ ආසාදිතයින්ගේ ආශ්‍රිතව වාර්තා වෙන ආසාදිතයින් අදාළ ප්‍රදේශවලට වාර්තා නොකිරීම නිසා අපිට ඔවුන් නිරෝධායනය කිරීමේ ගැටලු පැන නැඟිලා තියෙනවා.’
එමෙන්ම, දේශපාලඥයෙකුට පළමු වරට ආසාදිතයෙකු ලෙස වාර්තා වීමේ හේතුවෙන් දේශපාලඥයින්ට රටේ නියම ස්වභාවය දැනීමෙන් කොවිඩ් – 19 පාලනයට ඔවුන්ගේ සැබෑ කැප කිරීමක් මින් ඉදිරියට සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු, ‘ඕනෑම මොහොතක තමන් ආසාදිතයෙකු සමඟ නිරාවරණය කිරීමේ ගැටලු ඇතිවෙලා තියෙනවා. කොළඹින් බැහැර ප්‍රදේශවල ඉතාමත් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ පළමු දේශපාලඥයා වාර්තා වෙනවා ආසාදිතයෙක් ලෙස. මෙහෙම වාර්තා වීම තුළ ඇත්තටම රටේ ජනතාව අවබෝධ කරගත යුත්තේ මේ වෙද්දී කොතරම් ආරක්ෂිතව ඉන්න උත්සහා කළත් රටේ කොවිඩ් – 19 රෝගීන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙලා යම් අනපේක්ෂිත විදියට රෝගීන් වාර්තා වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලඥයින්ටත් මේ ආසාදිත තත්ත්වය වාර්තා වීමත් එක්ක රටේ තියෙන නියම ස්වභාවය ඔවුන්ට දැනේවි. ඒ වගේම මේ කොවිඩ් – 19 පාලනය කිරීම සඳහා ඔවුන්ගේ සැබෑ කැප කිරීමක්, ඒ කියන්නේ මහජනතාව වෙනුවෙන් ඔවුන් සැබෑ කැපකිරීමක් මින් ඉදිරියට ඔවුන් සිද්ධ කරාවි කියන එක අපි බලාපොරොත්තු වෙනවා’ යැයි පැවසුවා.

