News

යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන්තාවය ගැන UGC සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, වර්තමානයේ දී අවශ්‍ය වන්නේ යුද්ධයේ ස්මාරක නොව සාමයේ ස්මාරක බවයි.

මේ පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්යවරයා, ‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්ධය පාදක කර ගෙන එම විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාරකයක් ඒ තුළ ගොඩනඟන්න උත්සාහ කළා. ඒත් එක්කම ඒ ස්මාරකය කලින් කලට දියුණු කරමින් ආපු බවත් තමයි දැනගන්නට තියෙන්නේ. නමුත් ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් සමගියට උතුර සහ දකුණ අතර බාධාවක් වෙන්න පුළුවන්.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය ශ්‍රී සද්ගුණරාජා අද ලංකාවේ සිටින අති විශිෂ්ඨ විද්‍යාඥයෙක්. ඒත් එක්කම අති දක්ෂ පරිපාලකයෙක්. මෑත කාලීනව මා දුටු දක්ෂතම උපකුලපතිවරයෙක්. ඒ නිසා එතුමා තීරණයකට එළඹෙනවා, ඒ ස්මාරකය අද දවසට, හෙට දවසට නොගැළපෙන නිසා එය යාපනයේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න.

දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය හදාරන දරුවෝ යුද්ධය අවසාන කරන අවධියේ දී වයස අවුරුදු 9, 10 සහ 11 යන වගේ කාලයක හිටිය අපේ දරුවෝ. දමිළ, සිංහල හෝ මුස්ලිම් කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රී ලාංකික අපේ දරුවෝ. ඒ නිසා අද කියන්න සතුටුයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවෝ 1500ක් පමණ අධ්‍යාපනය හදාරනවා. ඒත් එක්කම දකුණේ විශ්වවිද්‍යාලවල සෑම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් 600ක් 700ක් දමිළ දරුවන්. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණෙන දමිළ දරුවන් අධ්‍යාපනය හදාරනවා.

අපිට තියෙන වැදගත්ම දේ තමයි මේ දරුවෝ අතරේ මේ ප්‍රශ්නේ නෑ. අපිට ඉස්සර තිබිච්ච ඒ අත්දැකීම් ඉදිරියේ දී දකින්න නොලැබෙයි කියන එක අපිට තියෙන එකම සාධකය තමයි මේ දරුවෝ අතරේ තියෙන සමගිය, සමාදානය. ඔවුන් ඉන්නේ, සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල. ඔවුන් සහභාගී වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි මේ සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ. මේ දක්වා කිසිදු ගැටලුවක් මේ විශ්වවිද්‍යාලවල සිදු නොවීමට දරුවන්ම වගබලාගෙන තිබීම සම්බන්ධව අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මේ පිළිබඳව තීරණයක් අරගෙන මේ ස්මාරකය ඊයේ රාත්‍රියේ දී යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරනවා. මං හිතනවා ඒක ඉතාමත් කාලෝචිතයි. අපි අද යුද්ධයේ ස්මාරක නොවේ. අපිට අවශ්‍ය වන්නේ සාමයේ ස්මාරක. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය කටයුතු අපේ දරුවොත් එක්ක සිද්ධ කරන්නට ඕනේ.’ යනුවෙන් පැවසුවා.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top