දේශීය පුවත්

මුල්ලවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරීමට උපකුලපතිවරයා පොරොන්දු වෙයි

යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය නැවත ඉදිකිරීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ජනවාරි 11 වන දින පෙරවරුවේදි පොරොන්දු වීමත් සමඟ දින දෙකක් පුරා විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කළ මාරාන්තික උපවාසය නතර කිරීමට තීරණය කර ඇත.

මෙම උපවාසයට සහය පළ කරමින් ජනවාරි 11 වන දින උතුරු – නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරුණි. කෙසේ වෙතත්, එම පළාත්වල ජන ජීවිතය යථා පරිදි ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කිරිම පිණිස මෙම ස්මාරකය 2018 වසරේදී පමණ ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ජනවාරි 08 වැනි දින රාත්‍රීයේ දී එය ඉවත් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබිණි. එයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දැරීම නිසා නොසන්සුන්තාවයක් හට ගැනිණි. පසුව තත්ත්වය පාලනය කිරීමට කෝපායි පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණි.

පසුව ජනවාරි 09 වන දින පස්වරුවේ ස්මාරකය ඉවත් කිරිමට එරෙහිව විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
To Top