Featured

නීතිඥවරු 150ක් පොලීසියට, දෙමළ කතා කරන අයට ප්‍රමුඛතාවය

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනවාරි 11 වන දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී පැවති අතර එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ,ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති එක්ව සිටියහ.

මහජනතාව වෙත නීතිය සමීප කරවීමත් පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීමත් එහි අරමුණ බව අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමටත් අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමටත් නියමිතයි.

බඳවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබාදීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ වෙතත්, දෙමළ භාෂාව හැසිරවිය හැකි අයට ප්‍රමුඛත්වයක් ලබා දීම සහ අදාළ බඳවා ගැනීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන තරඟකාරී විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කර තිබීම යන කරුණු ගැටළු සහගත බව නීතිඥවරුන් පෙන්වා දෙනවා. මෙමගින් ජාතිය, ආගම සහ භාෂාව මත විශේෂතාවයක් ලබා දීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වනු ඇති බවට පූර්ව උපකල්පනයක් ඇති වීම නොවැළැක්විය හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් කියා සිටින්නේ මෙවැනි බඳවා ගැනීමක් සිදු කරන්නේ නම් එය විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන තරඟ විභාගයකින් බඳවාගෙන පසුව අවශ්‍යතාවය පරිදි භාෂා පුහුණුවක් ලබා දීම සාධාරණ ක්‍රමය වන බවයි. එසේ නොමැති වුවහොත් සිංහල හෝ දෙමළ පමණක් කතා කළ හැකි අයෙකුට මෙම 150 අතරට තේරීමට ඉඩක් නොමැති බව නීතිඥවරුන් පෙන්වා දෙයි.

නීතිඥවරුන් 150 දෙනෙකු ප්_රධ… by Rivira Media

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top