ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය පෙබරවාරී මස 24 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පිරිස් සහ ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා ජනවාරි 11 වන දින සිය නාම යෝජනා පත්‍ර භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේදී නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් වෙත ඔවුන් දෙදෙනා සිය නාම යෝජනා භාර දුන්නා.
කෙසේ වෙතත්, නීතිඥ සංගමයේ නිලවරණ ඉතිහාසය තුළ ජනමාධ්‍ය හරහා එකිනෙකාට පහරගැසීම දුර්ලභ තත්වයකි. නමුත් මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක ජනාධිපති නීතිඥ සාලිය පිරීස් සිය ප්‍රතිවාදියා ඉලක්ක කර යම් අදහසක් දක්වා තිබුණා. එසේම සමාජ මාධ්‍ය තුළ ද නීතිඥ සංගම් නිලවරණය උණුසුම් ලෙස පැවතෙන බව නිරීක්ෂණය කළ හැකි අතර දෙපාර්ශවයේ ආධාරකාර නීතිඥවරුන් අනෙක් කණ්ඩායම් ඉලක්ක කර චෝදනා එල්ල කිරීම සහ පහර ගැසීම් දක්නට ලැබෙනවා.
නාමයෝජනා බාර දීමේ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ‘අපිට අවශ්‍යයි පරාජය කරන්න මේ නීතීඥ සංගමය වැරදි අතට හරවන්න උත්සහ කරන, ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච නැති, මුදල් බෙදලා, ද්‍රව්‍ය බෙදලා මේ ඡන්දය දිනන්න යන පාර්ශ්වය අපිට පරද්දන්න අවශ්‍යයි. මොකද ඒ පාර්ශ්වයට ප්‍රතිපත්තියක් නෑ’ යනුවෙන් පැවසුවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පළ කළේ මෙවන් අදහසක්.
‘මං බලාපොරොත්තු වුනේ නැහැ මගේ ප්‍රතිවාදිය සම්බන්ධයෙන් කරුණු සඳහන් කිරීමට. නමුත් කණගාටුයි. මොකද මේක ගෞරවණීය වෘත්තියක්. මගේ ප්‍රතිවාදියා විසින් මා සම්බන්ධයෙන් යම් යම් දේවල් ප්‍රකාශ කර තියෙනවා කියලා මට දැනගන්නට ලැබුණා. මං ද්‍රව්‍ය බෙදනවා. මුදල් බෙදනවා යනාදී වශයෙන් අභූත චෝදනා කරලා තියෙනවා. මා එය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මං එතුමාට අභියෝග කරනවා. මං බෙදපු මුදල් මොනවාද? මං බෙදපු ද්‍රව්‍ය මොනවාද? කියලා එතුමාට කියන්න කියලා. නමුත් මං එකක් කියනවා. මං දැනුම නොමිලේ ලබා දීලා තියෙනවා. එතුමා වගේ මම මුදලට දැනුම විකුණන්නේ නැති බවත් මම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා’
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යනු කවුද?
ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිමා කර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1992 නොවැම්බර් 19 නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති සාලිය පීරිස්, 1993 වසරේ දී වැඩබලන රජයේ අධිනීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර 1996 දක්වා රජයේ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. 1998 වසරේ දී විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ මූලික උපාධියක් සම්පූර්ණ කර ඇති සාලිය පීරිස් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික නීති අධ්‍යාපන ආයතනයක් වන සීඑෆ්පීඑස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. 2006 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් ලබාගෙන තිබෙන ඔහු 1998 වසරේ සිට පෞද්ගලික නීතිඥවරයෙකු ලෙසත්, නීති ප්‍රවේශ විභාග සඳහා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. 2015-2017 කාල සීමාව තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සාලිය පීරිස් 2017 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී ඇති අතර 2018 වසරේ සිට 2020 වසර දක්වා අතුරුදහන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා යනු කවුද?
කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිමා කර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1993 වසරේ දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති කුවේරා ද සොයිසා, 1993 වසරේ සිට නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. මහජන බැංකුව, සණස බැංකුව ඇතුළු මූල්‍ය ආයතන රැසක අධ්‍යක්ෂධූරයන් දරා ඇති ඔහු 2010 වසරේ දී වේල්ස් කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධිය සම්පූර්ණ කර ඇත. නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී අවුරුදු 19ක් වැනි කාලයක් කටයුතු කළ කුවේරා ද සොයිසා 2012 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති කුවේරා ද සොයිසා මේ වනවිටත් ශ්‍රී ලංකා කණිෂ්ඨ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී. කණිෂ්ඨ නීතිඥවරුන් වෙනුවෙන් අපදා අරමුදලක් පිහිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කුවේරා ද සොයිසා 2017 වසරේ දී නඩු ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජයෙන් පත් කළ කමිටුවේ සාමාජිකයෙක් ද වේ.

