කොවිඩ්-19

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වසා දමයි

අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා ද වන නීතිඥ චමින්ද කුලරත්න හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ජනවාරි 13 වැනි දින වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක් මේ වන විට සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ සේවකයන් විසින් පියවර ගෙන තිබේ.

එමෙන්ම, ආණ්ඩු පක්ෂ කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයන් හට ජනවාරි 13 වන දින පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර ඇත. වෛරසය ආසාදිත ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තුව ලබන 19 වැනිදාට කල් තබා තිබෙන හෙයින් එදිනට එය අනිවාර්යෙන්ම රැස්විය යුතු බවත් 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්ව එම සතියේ සෙසු රැස්වීම් වාර අවලංගු කිරීමට ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුව ලබන 19, 20, 21, 22 දිනවල පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි.

පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top