කොවිඩ්-19

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඩ් ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීම ගැන GMOA පැහැදිලි කරයි

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැන ගිය පිරිසක් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඩ් – 19 ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් එම සංගමය අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවත් ඔහුව අධීක්ෂණය කරන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ආශ්‍රිතයෙකු වීම අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවන බව ද පෙන්වා දෙයි. එමෙන්ම, එම වාට්ටුවේ කිසිදු පිටස්තරයෙකුගෙන් තොරව වෛද්‍යවරු කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂණයක් ලෙස පළ කරමින් අවමන් කිරීම ද නුසුදුසු බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

‘කොරෝනා ඇතුළු රෝග ඉදිරියේ අවදානමට මුහුණ දෙමින් අසීරු කාර්යභාරයක් ඉටු කරන පිරිසකගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන අයුරින් අවිචාරවත් ලෙස එක් මාධ්‍ය ප්‍රධානියෙක් තම මාධ්‍ය ජාලය හසුරුවන අයුරු ද පෙනේ’ යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, නිරෝධායන පනත යටතේ පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු ආචාර ධර්මවලට අනුව කොරෝනා සම්බන්ධ රෝගී තත්ත්ව වාසස්ථාන ඇතුළු නම් සහිතව මාධ්‍යවල පළ කිරීම වැරදි ක්‍රියාවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පමණක් නොව නිරෝධායන පනත මෙතෙක් නිකුත් කළ චක්‍රලේඛ අනුව ද එය වරදක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පෙන්වා දෙයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි ඇතුළු වැරදි ආහාර, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top