දේශීය පුවත්

නීතීඥවරු 150ක් පොලීසියට බඳවා ගැනීමේ තීරණය ගැන නැවත සලකා බලන්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමය අධිකරණ ඇමතිට ලියයි

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව නීතීඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔවුන් මෙම ගැටලුව පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කිරීමේ දී දෙමළ භාෂාව කතා කළ හැකි වීම විශේෂ සුදුසුකමක් ලෙස සැළකීමට ගෙන ඇති තීරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකර ඇති අතර නීතිඥවරුන් එලෙස බඳවා ගැනීමට ඇති අවශ්‍යතාවය සහ යම් හෙයකින් එලෙස බඳවා ගන්නවා නම් නීතිඥවරුන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු නිලයකට බඳවා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

කෙසේ වෙතත් ලිපිය මගින් නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පෙන්වා දෙන්නේ යම් හෙයකින් නීතීඥවරුන් පොලිස් දෙපාර්තුමේන්තුවට අනුයුක්ත කිරීමට යම් තීරණයක් ගනු ලබන්නේ නම් එය ඉතා සුපරික්ෂාකාරී ලෙස සියලු පාර්ශවයන් සමඟ සිදුකරනු ලබන දීර්ග සංවාදයකින් පසුව සිදුකළ යුතු බවයි. එබැවින් මෙම තීරණය පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු කරන ලෙසත්, ඒ තුළින් නීතීඥ වෘත්තියේ උද්ගත විය හැකි නීතීඥ වෘත්තියේ ආචාර ධර්ම සම්බන්ධයෙන් පැන නැඟිය හැකි බලපෑම් පිළිබඳවද සලකා බලන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම, මේ වන තෙක් මෙම තීරණයට අදාළව කිසිදු අංශයක් විසින් කිසිඳු විමසීමක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත යොමු කර නොමැති බව ද එම ලිපියෙහි දැක්වේ.

මේ වන විට, විවිධ කරුණු මත අනවශ්‍ය ලෙස නඩු එකතු වීමත් නඩු විභාග වලදි අනවශ්‍ය ලෙස විභාගයන් කල් යාමත් සිදුවෙමින් පවතින තත්ත්වයක් යටතේ නීතීඥවරුන් පොලිස් සේවයට අනුයුක්ත කිරිම සඳහා ඇති අවශ්‍යතාවය කුමක් ද යන්න හා ඒ තුළින් අපේක්ෂිත අරමුණු මොනවාද යන්න නිසි අධ්‍යයනයකින් පසුව සිදු කළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහන් කරයි. කෙසේ වෙතත්, මෙලෙස නීතීඥවරුන් පොලිස් දෙපාර්තුමේන්තුවට අනුයුක්ත කිරිමේ අභිමතාර්ථය අනෙකුත් අධිකරණ වලදී නඩු කටයුතු මෙහෙයවීම නම් හේතු කිහිපයක් මත එය සිදු නොකළ යුතු බව ද නීතීඥ සංගමය පෙන්වා දෙයි.

එහිදී, එය නීතීඥ වෘත්තියේ අභිමානයට හා ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම, වර්තමානයේ දී උපාධිධරයෙකු පොලිස් දෙපාර්තුමේන්තුවට අනුයුක්ත කරනු ලබන්නේ නිවේදිත නිලධාරියෙකු වශයෙනි. එනම් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස ඔවුන්ව බඳවා ගනු ලැබේ. තත්ත්වය එසේනම් නීතීඥවරුන් යෝජිත ආකාරයට බඳවා ගත යුත්තේ ද එකි පදනම මත බවත්, එසේ නොකළහොත් අනාගතයේ දි උසස් වීම් සම්බන්ධයෙන් විශාල ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය අදාළ ලිපියෙන් පැහැදිලි කරයි.

නමුත් අදාළ පැහැදිලි කිරීමට දැක්වූ කරුණු වලින් කිසිදු විටක නීතීඥවරුන් පොලිස් දෙපාර්තුමේන්තුවට අනුයුක්ත කිරිම ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනුමත කරන බව අදහස් නොකරන බවත් ඔවුන් අවධාරණය කරයි.

කෙසේ වෙතත් පොලිස් දෙපාර්තුමේන්තුවේ වැඩකටයුතු උදෙසා ඇත්ත වශයෙන්ම නීතිඥවරුන්ගේ අවශ්‍යතාවයක් ඇත්තේ නම් සිදු කළ යුතුව ඇත්තේ මුල් අවස්ථා අපරාධ අධිකරණ කටයුතු උදෙසා වෙනම නීති දෙපාර්තුමේන්තුවක් සංස්ථාපනය කිරීම බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි. එහිදී එය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ නොව නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ පැවතියු යුතු බවත් , එය වෙනම සේවයක් වශයෙන් සැලකිය යුතු බවත්, එම සේවයට අදාළ උසස්වීම් සහ ස්ථාන මාරු වීම් සඳහා රිතීන් සම්පාදනය විය යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් ඔවුන්ට අදාළව ද උපරිම මට්ටමින් අදාළ කර ගත යුතු බවත් ලිපිය මඟින් පැහැදිලි කරයි.

මෙම තීරණයෙහි අරමුණ වන්නේ දැනට පවත්නා නඩු කඩිනමින් අසා නිම කිරිම සඳහා නම් නීතීඥවරුන් 150ක් බඳවා ගැනීම වෙනුවට විකල්ප යෝජනාවන් රැසක් ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. එම විකල්ප යෝජනාවන් නම්,

  1. සෑම දිස්ත්‍රික්කයක් තුළම රජයේ නඩු ඒකකයක් ස්ථාපිත කිරීම (criminal Prosecution Unit)
  2. එම ඒකකයට මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවත්නා නඩුකර මෙහෙයවීමට පමණක් බලය ලබා දීම.
  3. වර්තමානයේ අපරාධයන්ට අදාළ ක්‍රමවේ දයේ කරුණු සැලකිල්ලට ගෙන එම ඒකකයට නීතීඥවරුන්, වෛද්‍යවරුන්, රජයේ රස පරීක්ෂකවරුන්, අතුරු විමර්ශනයන්, වෝහාරික විශේෂඥයන්ට හා ගණකාධිකාරීවරුන් සහ පරිගණක විශේෂඥයන් අනුයුක්ත කිරීම.
  4. එම ඒකකය විසින් ඉටු කළ යුතු කර්තව්‍යයන් හා වගකීම් නිශ්චිතව පැහැදිලි කිරීම.
  5. ඔවුන්ගේ උසස්වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් නිසි ලෙස රීතීන් සම්පාදන කිරිම.
  6. ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ හෝ සීමිත අධීක්ෂණය යටතේ මෙම ඒකක පිහිටුවීම.

Letter to Minister of Justi… by Rivira Media

නීතිඥවරුන් 150 දෙනෙකු ප්_රධ… by Rivira Media

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top