දේශීය පුවත්

හිටපු ඇමති රාජිත සේනාරත්නට අධි චෝදනා

2014 වසරේ දී මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ජනවාරි 18 වන දින අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදී ඇති අතර අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 දින යළි කැඳවන ලෙස නියම කළා.

Rivira FB Group Rivira Youtube
To Top