මුස්ලිම්වරුන්ගේ කාති උසාවි ශක්තිමත් කිරීම සඳහා නව කාතිවරුන් බඳවා ගැනීමට ආණ්ඩුව දැන්වීම් පළ කරයි

දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක කාති තනතුර සඳහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීමක් පළ කර තිබෙනවා.

ඊට අදාළ දැන්වීම නිකුත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ඇති වී තිබෙන අතර සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති පිරිස් “එක රටක් – එක නීතියක් ඇති කිරීමට පැමිණි ආණ්ඩුවේ” ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර තිබෙනවා.

2021.01.01 දිනැතිව එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්‍රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා ය.

එම ගැසට් නිවේදනය අනුව “අයදුම්කරු මුස්ලිම් පුරුෂයෙකු විය යුතු අතර, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු හෝ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයක් විසින් ප‍්‍රදානය කරන ලද සහතිකයක් දරන මෞලවි කෙනෙකු හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අල් – ආලිම් සහතිකයක් දරන්නෙකු හෝ නීතිඥයෙකු හෝ ඊට සමාන වෘත්තීමය සුදුසුකම් දරන්නෙකු හෝ විශ‍්‍රාමික රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුය.” යනුවෙන් සඳහන් ව ඇත.

අදාළ තනතුර සඳහා අයදුම්පත් කැදවීමේ අවසාන දිනය ලෙස 2021 ජනවාරි 31 දින නම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුස්ලිම් කාන්තාවන් පිරිසක් ද කියා සිටින්නේ මෙම කාති උසාවි හරහා මුස්ලිම් කාන්තාවන් ප්‍රබල මානසික පීඩාවකට ලක්වන බවයි. එසේම එම පද්ධතිය හරහා සෑම විටෙකම කාන්තාවන් අසාධාරණයට ලක්වන බව ඔවුන් පෙන්වා දෙයි. මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ සභාපති මොහොමඩ් ෆියාස් පවසන්නේ මෙසේ දූෂිත වූ කාති උසාවි ලංකාවෙන් තුරන් කළ යුතු බවයි. මුස්ලිම් කාන්තාවක වන නෝනා නජීමා පවසන්නේ කාති උසාවි සෑම විටම සළකන්නේ පිරිමියාගේ පාර්ශවයෙන් පමණක් බවයි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරන්නේ ජාති ආගම් මත නීති පැනවීම නොකළ යුතු බවයි. එක රටක් තුළ එක නීතියක් පැවතිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා. ආගමික අවශ්‍යතා මත නීතිය වෙනස් කිරීමෙන් නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන බව ද උන්වහන්සේ පවසා සිටියා.

Rivira Ads