Covid-19

කොරෝනා එන්නත එන්නත්කරණ ක්‍රියාවලියේ විශේෂ පෙරහුරුවක් හෙට

කොවිඩ් – 19 වෛරසය සදහා එන්නතක් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් ජනවාරි 23 වන දිනයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

ඒ අනුව, එම පෙරහුරු වැඩසටහන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

මෙලෙස පෙරහුරු වැඩසටහන් දියත් කිරීම තුළින්, එන්නත්කරණ ක්‍රීයාවලිය ආරම්භ වීමෙන් පසුව උද්ගතවිය හැකි ප්‍රායෝගික ගැටලු හදුනාගැනීම සහ නිශ්චිත වේලාවක් තුළ දී එන්නත ලබාදිය හැකි පිරිස පිළිබඳව අදහසක් ලබා ගැනීම යන මූලික කරුණු කෙරෙහි අවධානය යොමුකරන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, ‘හැමෝම අහන ප්‍රශ්නයක් තමා මේ එන්නත් සම්බන්ධයෙන්, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ඕනෑම මොහොතක ලැබෙන්නාවූ ඕනෑම එන්නතක් වහාම අදාළ එන්නත ලැබිය යුතු එන්නත් ලාභීන් වෙත දීම සඳහා සූදානම් වෙලා ඉන්නේ. මේ මොහොත වන විට නොකඩවාම ඒ අවශ්‍ය කරන ගබඩා කරන ආකාරය බෙදා හරින ආකාරය, ඒ වගේම මේක දෙන මධ්‍යස්ථානය හරහා දීම සඳහා සඳහා සැලසුම් යාවත්කාලීන කරමින් නොකඩවා ඒකේ සැලසුම්වල තියෙන අඩුපාඩු හොයමින් ඒක වැඩිදියුණු කරමින් අපි ඉන්නේ. ඕනෑම මොහොතක එන්නතක් ලැබුණොත් ඒ එන්නත අදාළ එන්නත් ලාභින් වෙත ලබා දීමට කටයුතු කරනවා.

මේ සඳහා කරන පෙරහුරුවක් අද දිනයේ දී අපි මූලික සූදානම් කිරීම විශේෂයෙන්ම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේත්, පිළියන්දල ප්‍රාදේශීය රෝහලේත් සූදානම් කළා. ඒ වගේම, රාගම කොළඹ උතුර ශික්ෂණ රෝහලේත් සූදානම් කිරිම කළා. හෙට දිනයේ දී මේ පෙරහුරුව කරලා අපිට එන්නත්කරණය පිළිබඳව අපිට අවශ්‍ය කරන ගැටලු මතු කරන අවස්ථා හඳුනා ගැනීම ඒවා වෙනස් කිරීමටත්, දිනක් ඇතුළත, පැයක් ඇතුළත දිය හැකි එන්නත් ප්‍රමාණය පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගැනීමටත් අනෙකුත් ගැටලු තිබෙනවා නම් ඒවා හඳුනා ගැනීමටත් මේ පෙරහුරුව අවශ්‍ය වෙනවා. මේ පෙරහුරුව හෙට දිනයේ දී ඒ ස්ථාන තුනේ දී අපි කරනවා. ඒ අනුව, අපිට අපේ සැලසුම් තවත් වැඩි දියුණු කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.’ යනුවෙන් පැවසුවා.

එමෙන්ම, මේ වන විට කොවිඩ් – 19 ආසාදිත වූවන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ වන විට, කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථාන 79ක් දක්වා වැඩි කර තිබෙන බව ඔහු පැවසුවා. එම මධ්‍යස්ථාන තුළ ඇඳන් 13,012ක් සූදානම් කර ඇති බවත් එයින් ඇඳන් 9399ක් භාවිතයට ගැනෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, දැඩි සත්කාර ඒකකයේ මේ වන විට රෝගීන් 26 දෙනෙකු සිටින බවත් තවත් රෝගීන් 120 දෙනෙකුට දැඩි සත්කාර ඒකකයේ පහසුකම් වෙන් කර ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවා.

ගෙවුණු නිවාඩු සමයේදී මහජනතාව විවිධ ප්‍රදේශ වෙත සංචරණය වීම පසුගිය දින කිහිපයක සිට වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමට හේතුවක් බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දුන්නා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top