Covid-19

සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරු වීම බරපතල තත්ත්වයක්

සෞඛ්‍ය ධාරිතාව බිඳ වැටීමකට ලක්වුවහොත් එය ඉතාම බරපතල තත්ත්වයක් බැවින් සෞඛ්‍ය සේවකයින් වෛරසය ගොදුරු වීම බරපතල තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ජනවාරි 22 පෙරවරුවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

‘අද වෙනකොට රෝහල්වල ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගය වැළඳිලා වෛද්‍යවරු 35කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. පහුගිය කාලය පුරාම මේ රෝගය වැළඳුනු වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම, 150කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයක් මේ වෙලාවේ නිරෝධානයට යොමුවෙලා තියෙනවා.

ඒ වගේම සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ හෙද නිලධාරින් අනෙක් සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද මේ වෙලාවේ රෝගයට ගොදුරු වෙමින් තියෙනවා. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. මොකද සෞඛ්‍ය ධාරිතාව ඉතාම වැදගත්. සෞඛ්‍ය ධාරිතාව බිඳ වැටුනොත් අපිට ඉදිරියේදී බරපතල තත්ත්වයකට එන්න පුළුවන්. අපි පළවෙනි රැල්ලේ දී දැක්කේ නෑ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෛරසයේ ආසාදිතයන් බවට පත්වෙනවා.’

එමෙන්ම, කොවිඩ් මර්දනයට එන්නතක් තෝරා ගැනීමේදී කරුණු 05 ක් පිළිබඳ අවධානය යොමුකල යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කළා.

එහිදී, ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපි විශ්වාස කරනවා, අපිට දැන් තියෙන මේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව තුළට මේ එන්නත ගෙන්වා ගැනීමේ කටයුතු සියල්ලම අවසන් කළ යුුතුයි කියන කාරණය අපි දැඩිව විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය මේ එන්නත ඉක්මනින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි කියලා. එහිදී වැදගත් වෙන කාරණය තමා එන්නතක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු.

එහිදී ප්‍රධාන කරුණු 5ක් ගැන අවධානය යොමු කළොත්, එක් කාරණයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති එන්නතක් තමා සාමාන්‍යයෙන් ලංකාවේ එන්නත් ගෙන්විමේ දී භාවිතා කරන නිර්ණායකයක්.

දෙවැනි කාරණය තමා ඒ එන්නතේ ඵලදායීතාවය. තුන්වෙනි කාරණය තමා අතුරු ආබාධ, ඊළඟ කාරණය තමා භෞතික පරිසරයට ගැළපෙන, ඒ වගේම ගබඩා පහසුකම් සහ අපගේ භෞතික පරිසරයට ගැළපෙන ආකාරයේ එන්නතක් තෝරා ගත යුතුයි. ඊළඟ අවසාන කාරණය තමයි දැරිය හැකි මිලකට ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ දී එය බලපානවා.’ යනුවෙන් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top