කොවිඩ්-19

කොවිඩ් එන්නතේ පළමු තොගය ජනවාරි 27 වනදා ලංකාවට

කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ජනවාරි 27 වන දින වන විට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනවාරි 23 වන දින පෙරවරුවේ කළුතර, වලල්ලාවිට ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, එන්නත මෙරටට ලැබීමෙන් පසුව පළමුව කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරි පෙළ කටයුතු කරන සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන්, මහජන පරීක්ෂකවරුන් සහ හෙදියන්ට ද, ඔවුන් හා එක්ව කොවිඩ් මර්දන කටයුතු වලට සහය වන්නා වූ හමුදාවේ සහ පොලීිසියේ නිලධාරීන්ට ද, එමෙන්ම වෛරසය අසාදනය වීමේ අවදානමක් සහිත වැඩිහිටි පුද්ගලයින්ට ද ලබා දීමට නියමිත බවයි.

එමෙන්ම, ඊට අමතරව චීනයෙන් සහ රුසියාවෙන් ද එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට ජනවාරි 22 වන දිනයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් අතර එය ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනුයේ කොවිෂීල්ඩ් යන නාමයෙනුයි.

කොරෝනා මර්දනයට ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතයට අනුමැතිය ලැබී ඇතැයි ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ජනවාරි 22 වන දින නිල වශයෙන් දැනුම් දුන් අතර ඒ අනුව, එම එන්නත කඩිනමින් බෙදා හැරීම සඳහා දෙපාර්ශවය කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

Rivira FB Group Rivira Youtube
To Top