සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ජනවාරි 25 වන දින සිට සිට බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර හිමි වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
ඊට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය ජනවාරි 16 වැනි දින නිකුත් කෙරුණු අතර ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කර ගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් 50%ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු සඳහා පමණක් බව දැක්වේ. එමෙන්ම, උපකාරක පන්ති මෙවර අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට පමණක් ආරම්භ කිරීමට ඉල්ලීමක් සිදු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ අතර, උපකාරක පන්ති පැවැත්වීමට අදාළ විශේෂ නිර්දේශ මාළාවක් සකස් කර ඇතැයි සමස්ථ ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසනවා.
මෙහිදී, ප්‍රධාන කොටස් තුනකින් යුක්තව අදාළ නිර්දේශ මාලාව සකසා ඇති බව එහි භාණ්ඩාගාරික අසංග නිරෝෂණ සඳහන් කරයි.
‘සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා අපිට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්දේශවලට අනුකූලව උපකාරක පන්තියක් සඳහා තිබෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතු කරලා ලංකාවේ එකම ටියුෂන් ගුරුවරුන්ගේ සංගමය හැටියට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය විදියට අපි හදලා තියෙනවා නිර්දේශ ගණනාවක්.
මේ නිර්දේශ කොටස් තුනකින් යුක්ත වෙනවා. එකක් තමයි ආයතන හිමියන් සහ සංවිධාන මහත්වරුන් දැනුවත් කිරීම. ඒ සඳහා අපි වෙනම නිර්දේශ පොතක් ඉදිරිපත් කරනවා.
පන්ති එන දරුවන් දැනුවත් කරලා අපි පෝස්ටර් තුනක් අපි නිර්මාණය කරලා මේ වන විටත් මුළු ලංකාව පුරා බෙදාහරිමින් පවතිනවා.
තුන්වෙනි එක සියලුම අය, ඒ කියන්නේ පොදුවේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ආයතන සංවිධායකවරුන්ට වගේම දරුවන්ටත් දැනෙන පරිදි අපි සී.ඩී පටයක්, වීඩියෝවක් ලෙස නිර්මාණය කරලා තියෙනවා. දරුවෙක් මේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උපකාරක පන්තිය තුළ සැලසුම් කරන්නේ කොයි ආකාරයට ද කියලා අපි වෙනම සී.ඩී. පටයක් නිර්මාණය කරලා තියෙනවා.
ඒ අනුව, අපි විශ්වාස කරනවා, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ලෙස අපි විශ්වාස කරනවා උපකාරක පන්ති තුළ තව කොවිඩ් පොකුරක් ඇති නොවෙන විදියට අපේ පැත්තෙන් කරන්න පුළුවන් වගකීම් අපි නිසි පරිදි ඉටු කරනවා කියලා අපි වගකිව යුතු සංගමයක් හැටියට රටට ප්‍රකාශ කරනවා.’
තවදුරටත් අදහස් දක්වමින්, එම සංගමයේ භාණ්ඩාගාරික අසංග නිරෝෂණ සඳහන් කළේ, දරුවන්ගේ ආරක්ෂාව සලසමින් නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් ද සිදු කළා.
‘අපි රජයත් එක්ක විවිධ සාකච්ඡා පැවැත්වූවා. ඇත්තටම රජය ඒ සම්බන්ධයෙන් අපිට හොඳ ප්‍රතිචාර දැක්වූවා. විශේෂයෙන්ම හමුදාපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, කොවිඩ් ඇමතිතුමිය ඒ හැම කෙනෙක් එක්කම අපි සාකච්ඡා කළා. ඒ අනුව, අපිට ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබී පවතිනවා. හැබැයි මේ වෙලාවේ මං ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ලංකාවේම ගුරුවරුන්ට, ආයතන සංවිධායකවරුන්ට කියනවා අපිට මේ ලැබුණු අවස්ථාව නිසි අයුරින් බුද්ධිමත්ව පාවිච්චි කරමින් රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සලසමින් කටයුතු කරන්න කියලා මං මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා’
මේ අතර, හුදකලා කෙරුණු ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ පිහිටි පාසල් 907ක සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් වෙනුවෙන් පාසල් වීවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

