කොළඹ මහ නගර සීමාව තුළ තිබූ කොරෝනා අවදානම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජනවාරි 24 වැනි දින වාර්තා වූ ආසාදිතයින්ගේ දත්ත පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
එමෙන්ම, මෙලෙස කොළඹ දිස්ත්‍රික්කය පුරා අසාමාන්‍ය ලෙස ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.
‘කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ කලින් කොළඹ මහ නගර සභා සීමාව ඇතුළේ දැකපු අවදානම, ලොකු ප්‍රමාණවලින් මේ හැමතැනම, කොළඹ නගර සභා සීමාව ඇතුළේ ලොකු ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළෙත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බහුතරයක රෝගීන් වාර්තා වෙන තැනට ගිහින් තියෙනවා. හැමතැනින්ම දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත වීමේ ස්වභාවයක් දකින්න ලැබෙනවා.’
එතකොට මේ හිටි අඩියේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ ප්‍රමාණයන් මේ විදියට අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ මොන හේතුවක් නිසාද කියලා බලධාරීන් පැහැදිලි කළ යුුතුයි. එක්කෝ පීසීආර් වැඩි වුනා ද කරපු ප්‍රමාණය, නැත්නම් කලින් අඩු වෙලා තිබුන එක වැඩි කරගත්තද? නැත්නම් සාපේක්ෂව අනිත් තැන්වල, අනිත් දිස්ත්‍රික්කවල කරපු පීසීආර් ප්‍රමාණය අඩු වෙච්ච හින්දද කොළඹ සාපේක්ෂව ප්‍රතිශතයක් විදියට මේ වැඩි වෙලා තියෙන්නේ? මේ සියල්ල බලධාරීන් විසින් ජනතාවට, මොකද ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. සමස්තයක් විදියට කලින් තිබුණ විදියටම බස්නාහිර පළාතේ අවදානම නැවත වැඩි වෙලා තියෙනවා.
එමෙන්ම, මේ වන විට රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වීම සාපේක්ෂව ඉහළ ගොස් ඇති නිසා රෝහල්වල රෝගීන්ට වෙන් කර ඇති ඇඳන් ධාරිතාවට ක්‍රමයෙන් ළඟා වෙමින් පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කළා.
‘අනිත් භයානක තත්ත්වය තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ, ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය විසින් අපිට දැනුම් දීලා තියෙන පරිදි අපි පළවෙනි රැල්ල වෙලාවේ පසුගිය මාසේ දිහාවේ වෙනකම් දැකපු දේ තමයි ඉතා ඉහළ ප්‍රතිශතයක් වාර්තා වුනේ රෝග ලක්ෂණ නැති සංකූලතා ඇති වෙන්න ඉඩ අඩු රෝගීන් තමයි වැඩි හරියක් වාර්තා වුනේ. නමුත් දැන් දැන් අපිට ක්ෂේත්‍රයෙන් වාර්තා වෙනවා රෝග ලක්ෂණ සහිත රෝගීන් වෙනදාට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවා කියන කාරණය. ඒ හරහාත් අපේ පද්ධතියට තමයි බර එකතු වෙන්නේ. දැන් අපේ පද්ධතිය තුළ අතරමැදි මධ්‍යස්ථාන හදලා ඒවායින් ඉඩ අරන් තියෙනවා. රෝගී ප්‍රතිකාර ඒකක තියෙනවා. එතකොට දැන් මේ රෝග ලක්ෂණ සහිත අය හම්බුනොත් ඒ අය අතරමැදි මධ්‍යස්ථානවලට දාන්න බෑ. ඒ අය දාන්න ඕනේ රෝහල්වලට. එතකොට රෝහල්වල ඇඳන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ නිසා අපි රෝග ලක්ෂණ සහිත රෝගීන්ට වෙන් කරපු ඇඳන් ගාණ එතකොට සියයට සියයක ධාරිතාව කරා ළඟා වෙමින් තියෙනවා.’

