දේශීය පුවත්

වරාය සේවකයින් හෙට සිට අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලින් සියයට 49ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමේ රජයේ ස්ථාවරයට විරෝධය පළකරමින් සැළසුම් කළ පරිදි ජනවාරි 29 වන දින සිට වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව වරාය වෘත්තීය සමිති අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන්, නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් ජනවාරි 28 වන දින අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමින් වහන්සේ දැනුවත් කිරීම සදහා මහනුවරට පැමිණ තිබුණා.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ, ‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විදියට අපි නුවර අස්ගිරි හාමුදුරුවෝත් ඒ වගේම මල්වත්තේ නායක හාමුදුරුවෝත්, ඒ වගේම ගැටඹේ නායක හාමුදුරුවෝත් ඇතුළු නුවර ප්‍රදේශයේ තියෙන සියළුම පන්සල්වල නායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහෙන්න ආවා.

විශේෂයෙන්ම හෙට දවසේ අපි ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්. ඒ ක්‍රියාමාර්ගයට පෙර අපිට යුතුකමක් තියෙනවා අපේ නායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය ලබා ගන්න.

අද ඒ කාරණා සම්බන්ධයෙන් නැගෙනහිර පර්යන්තයේ ඒ අවශ්‍යතාවය, නැගෙනහිර පර්යන්තය මේ වෙනකොට මුහුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කළා. ඇත්තටම උන්වහන්සේලා පුදුමයට පත් වුනා. උන්වහන්සේලා කම්පාවට පත් වුනා. අපේ රටේ සම්පත් මේ විදියට විජාතික සමාගම් අතට පත් කරන්නේ ඇයි ද කියන කාරණය.

විශේෂයෙන් ජාතික සම්පත් ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුවකින්, උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබපු ආණ්ඩුවකින් මේ වගේ අකටයුත්තක් සිදුවීම සම්බන්ධයෙන් සියලුම නායක ස්වාමින්වහන්සේලා කණගාටුවට පත් වුනා. ඒ වගේම, උන්වහන්සේලා අපිට පොරොන්දු වුනා ගරු ජනාධිපතිතුමා දැනුවත් කරලා වහාම මේ ක්‍රියාමාර්ගය නතර කරන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරනවා කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදියට උන්වහන්සේලාගේ පැත්තෙන් ඒ මැදිහත්වීම කරයි කියලා.’

එමෙන්ම, නැගෙනහිර පර්යන්තය සුරකීමේ සටන යනු ජාතික අරගලයක් බවත් වරාය සේවකයින් 9900ක පිරිසක් හෙට දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වන බවත් නිරෝෂන් ගොරකානගේ මෙහිදී සඳහන් කළා.

‘අපි මේ සටනට ආවේ නැවත හැරෙන්නට නෙමෙයි. අපි රටක් විදියට, වරායක් විදියට, අපේ අවසාන හුස්ම පොද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි අපි මේ සටනට බැහැලා තියෙන්නේ. 9900ක සියලුම සේවක පිරිස මේ සටනට එකතු වෙනවා. අපි විශ්වාස කරනවා, ඉතිහාසයේ කවරදාවත්ම නැති විදියට මේ සටන වෙනුවෙන් පළල්, පුළුල් ජාතික සංවිධාන මේ සටනට එකතුවෙලා තියෙනවා. දේශපාලන ව්‍යාපාර එකතුවෙලා තියෙනවා. මේ සියලුදෙනාගේ ආශිර්වාදය මේ සටනට තියෙනවා. හේතුව මේ සම්පත නැති වුනොත් එහෙම ඉතිරි සම්පත් ටිකත් අපිට අහිමි වෙනවා. ඔබ දන්නවා තෙල් සංස්ථාවේ තෙල් ටැංකි ටික අපිට අහිමි වෙමින් පවතිනවා. අපේ ඉඩම් සම්පත අහිමි වෙනවා. විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා විකිණීමට නියමිතව පවතිනවා. ඒ නිසා ඉතා පැහැදිලිව අපි මේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරගන්න අසමත් වුනොත් එහෙම පෝලිමක් තියෙනවා විකිණීමට. ඒ නිසා ඒ පෝලිම නතර කර ගන්න නම්, අනිවාර්ය ලෙසටම අපිට නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ සටන කියන්නේ ජාතික සටනක්.’

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් බැහැදැක කොළඔ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලියක් පිළිගැන්වීමට ද කටයුතු කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න, “ඉන්දියාව අපිට බලපෑම් කරනවා මේක අදානිට දෙන්න කියලා. මේ රටට අවශ්‍ය ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට විනාශවන එකයි මේ වෙන්නේ. මම පොහොට්ටුවේ වෘත්තිය සමිති නායකයා. වරායේ එකිනෙකට වෙනස් වෘත්තිය සමිති 23ක් එකමතයකට ඇවිල්ලා තියෙනවා නැගෙනහිර පර්යන්තය බේරාගැනීමට. කරන්න බැරිවුණොත් මේ රට විනාශයි.”

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ,

“රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ පාලකයන්ට මේ රටේ සුබ සිද්ධිය සඳහා වැඩකරන්න මිස මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දෙයක් විකුණගෙන ඒ කාලෙට ආණ්ඩුව පවත්වාගෙන යන්න නෙමෙයි. ඇත්තටම ජාතියක් රටක් හැටියට අපිට අතිශය කණගාටුවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපිත් ඒ ස්ථාවරයේ ඉන්නේ,”

Rivira FB Group Rivira Youtube
To Top