විදේශ

රටේ පාලනය සියතට ගත් බව මියන්මාර හමුදාව නිවේදනය කරයි

මියන්මාරයේ පාලනය වසරක සඳහා කාලයක් සියතට ගත් බව එරට හමුදාව යටතේ පවතින රූපවාහිනී නාලිකාවක් හරහා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව පළමු වරට පෙබරවාරි 01 වැනි දි එරට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබූ අතර එරට ආරක්ෂක අංශ මඟින් අවුන් සාන් සුකී සහ ජනාධිපති වින් මින්ට් (win myint) ඇතුළු එරට රාජ්‍ය නායකයින් අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත් දින කිහිපයක සිට ඒ සම්බන්ධ තොරතුරු පැතිර යමින් පැවතිණි.

පසුගිය නොවැම්බර් මස පැවති මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව ආසන 476 කින් සමන්විත මියන්මාර පාර්ලිමේන්තුවේ ආසන 396 ක් දිනාගැනීමට අවුන්සාන් සුකීගේ පාලක ජාතික ලීගය සමත්වුණා. කෙසේවෙතත්, 2008 වසරේදී සම්මත වූ ව්‍යවස්ථාවට අනුව සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 25 ක් හිමිවන්නේ එරට හමුදාවටයි.

නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය වංචනික බව පවසමින් එරට හමුදාව දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළ අතර වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුවුවා. මෙම තත්ත්වය හමුවේ දශක 05 කට ආසන්න කාලයක් මියන්මාරය පාලනය කරනු ලැබූ මියන්මාර හමුදාව යළි රටේ පාලනය තම අතට ගෙන තිබීම යම් අයුරකින් හමුදා කුමන්ත්‍රණයක් ලෙස ද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ අවුන්සාන් සුකි මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයක්. මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදුු වුණා. කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදීමයි. ඒ, මානව හිමිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ හඬනැගීම හේතුවෙන් ය.

මේ අතර අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් මියන්මාර හමුදා පාලකයන්ට අවධාරණය කර සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසටයි. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කලේ ජනාධිපති ජෝ බයිඩ්න් ද මියන්මාරයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි. ඒ අනුව, මැතිවරණ ප්‍රථිඵලවලට පටහැණි කිසිදු ක්‍රියාවකට සිය දැඩි විරෝධය පළකරන බවත් එමඟින් අවධාරණය කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top