නැගෙනහිර පර්යන්තය ගැන 2019 මැයි ගිවිසුම එලෙසම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දියාව අවධාරණය කළ බව “ද හින්දු” කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුණගැසී ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කරන්නේ පෙබරවාරි 02 වන දිනයේදී මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි.

ඉන්දියාව සහ ජපානය සමග එක්ව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා 2019 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය සමග ත්‍රයිපාර්ශ්වික ගිවිසුමකට එළැඹී තිබුණි. මෙම සාකච්ඡාවේදී අදාළ ගිවිසුම එලෙසම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දියාව පාර්ශවයෙන් දැඩි ලෙස අවධාරණය කර ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

නැගෙනහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ශ්‍රී ලංකාව සතුවද සියයට 49 ක කොටස් ඉන්දියාව සහ ජපානය අතරද බෙදී යා යුතු බව ඉන්දියාව එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අනුව සියයට 49 ක කොටස් ප්‍රමාණය වෙනුවෙන් ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් කිරිමට ඉන්දියාවේ අදානි සමූහය සූදානම් බවයි හින්දු වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගිවිසුම නතරකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිසි දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් ඒ පිළිබඳ එම රජයන් විසින් දැනුවත් වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පසුව බවත් හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පවසන්නේ, ජනාධිපතිවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර කිසිදු නිල සාකච්ඡාවක් පෙබරවාරි 02 වන දිනයට යෙදී නොතිබූ බවයි.

ඉන්දියාව සහ ජපානය නම් කරන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව වසර 35කින් ආපසු භාරදෙන පදනම මත කොළඹ වරාය – බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. එමෙන්ම, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පර්යන්තයක් ලෙස පවත්වාගෙන යාමටද කැබිනට් අනුමැතිය හිමි විය.

මේ අතර, කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව වරාය වෘත්තීය සමිති සිය විරෝධය පළ කරයි. ඒ අනුව රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් වරාය වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් පෙබරවාරි 03 වන දින පෙරවරුවේ කොළඹ වරාය ආසන්නයේ සහ කොළඹ කොටුව ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

Rivira Ads