,

අඹන්පොළින් හමු වූයේ කොවිඩ් නව ප්‍රභේදයක්දැයි සැකයක්

කුරුණෑගල අඹන්පොළ පසුගිය ජනවාරි 21 වන පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 260කට අධික පිරිස අතරින් මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, එම කොවිඩ් පොකුරේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවයි.

එම මංගල උත්සවයේ දෙවන දිනය ජනවාරි 24 වනදා අත්තනගල්ලේදී පවත්වා තිබෙන අතර ඒ අනුව දින දෙකටම සහභාගි වූ මුළු පිරිස 260 කට අධික බව අනාවරණ වී ඇත.

එම කොවිඩ් පොකුර වාර්තා වීම ආරම්භ වී තිබෙන්නේ දින දෙකටම සහභාගි වූ මනාලයාගේ ඥාතියෙකු රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ය. අනතුරුව පළමු දිනයේ උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදී එම 15 දෙනාම ආසාදිතයින් ලෙස වාර්තා විය.

එම 15 දෙනාම විවාහ උත්සව දිනයේ වායුසමීකරණය කරන ලද කාමරයක මත්පැන් පානය කර තිබෙන අතර 15 දෙනාම ආසාදිතයින් වීම හේතුවෙන් ඉන් පළමු ආසාදිතයා කවුද යන්න හඳුනාගැනීමත් අසීරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාදිතයින් ලෙස හඳුනාගත් 136 දෙනා අතරින් 96 දෙනෙකුම මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ අය වන අතර සෙසු ආසාදිතයින් 40 දෙනා අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තවත් 100 කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත අතර දැනට හඳුනාගත් ආසාදිතයින් 136 දෙනාගේ ආශ්‍රිතයින් 450 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Rivira Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *