කොවිඩ්-19

භූමදානය දීලා ජිනීවාවලදී මැදපෙරදිග සහය ගන්න දෙන්න බෑ – මරික්කාර් අවධාරණය කරයි

කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් පෙබරවාරි 11 වන දින පාර්ලිමේන්තුවේ දී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ මළ සිරුරූ භූමදානය කිරිමට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වන දින පාර්ලිමේන්තුවේ දී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විමසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ භූමදානයට අවසර දීම සම්බන්ධ තීරණය ලබන 22 වනදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මෙම අදහස් පළකලා.

‘අපට නම් දේශපාලනයට වඩා ප්‍රමුඛ රට. දේශපාලනය අංක 02. අපේ අංක 01 රට. ඒ නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අපේ රට බේරෙන්න ඕනේ. අපේ රට බේරගන්න පුළුවන් වෙන්නේ කාටද? පහුගිය කාලෙත් බේරුනේ මැද පෙරදිග රටවල්වල ඡන්දය උපකාරය අපිට ලැබිච්ච නිසා. ඒ නිසා මේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ඉඩ දෙනවා කියූ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මැද පෙරදිග ඡන්ද ලබා ගැනීම සඳහා ගුණ්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ.

ඒ වගේම, ලබන 22 වන දාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා එනවා. එතකොට එතුමා ඇවිල්ලා යනකම් කරපු මුලාවක් වෙන්න බෑ. මොකද දැන් මේක ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අගමැතිතුමාගේ ප්‍රකාශය ජෝක් එකක් කරන්න එපා කියලා ආණ්ඩුවේ වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි කියන්න කැමතියි. ඉම්රාන් ඛාන් මැතිතුමාව මඟහරින්නේ නැතුව ඇත්තටම නම් මේක කිව්වේ, දැන් 22 වන දාට කලින් මේ ගැසට් එක ගහලා තීරණය බලාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි.’

එමෙන්ම, කොවිඩ් – 19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර දීම විපක්ෂය විසින් දිගින් දිගටම සිදු කරන ලද අරගලයක ප්‍රතිඵලයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මහින්ද මහත්තයා දන්නවා ජිනීවාවල වෙන්න යන්නේ මොනවාද කියලා ඉවරවෙලා. ඒ නිසා තමයි මහින්ද මහත්තයා මේ නැගිටලා බලෙන් උත්තර දුන්නේ. නිකන් උත්තර දුන්නේ නෑ.

අපි කියන්න කැමතියි. උත්තර දෙන්න වුනේ, සජිත් ප්‍රේමදාස මැතිතුමා විවිධ අවලාද, අපහාස, උපහාස වලට මුහුණ දෙමින් බය නැතුව තමන්ගේ මතය, තමන්ගේ පක්ෂයේ මතය වෙනුවෙන් කෙලින් හිට ගත්තු නායකයෙක් විදියට ශ්‍රී ලාංකික අනන්‍යතාවය රකිමින් සිංහල බෞද්ධකමට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියළුදෙනාටම සමානව සලකන නායකයෙක් විදියට එතුමා සහ අපි කණ්ඩායම දිගින් දිගටම කරපු අරගලයක ප්‍රතිඵලයක් මිසක මේක නිකන් අතට දුන්නු එකක් නෙමෙයි.

දැන් මේකේ තියෙන දේශපාලන ජවනිකාවත් අපි පොඩ්ඩක් කියවගන්න ඕනේ. ඒ නිසා මේ බොරු බේගල්, මුසාවෙන්, මුලාවෙන් ආණ්ඩු කරන ආණ්ඩුවට දැන්වත් ඇත්ත ආණ්ඩුවක් විදියට යථාර්ථය තේරුම් අරගෙන මේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ නැතිව රටේ ප්‍රශ්න ජනතාව එක්ක සාකච්ඡා කරලා, වාද විවාද කරලා, ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා’

Rivira FB Group Rivira Youtube
To Top