දේශීය පුවත්

ප්‍රවීණ රංගනශිල්පී ජයලාල් රෝහණ දිවි රඟ මඬලෙන් සමුගනියි

ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ පෙබරවාරි 11 වන දින රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාවට මෙන්ම සාහිත්‍යයට ද අනුපමේය සේවවාක් සිදු කිරීමට ජයලාල් රෝහණ සමත් විය. කලාව, සාහිත්‍ය පිළිබඳව සිය අදහස් සිත් ඇද ගන්නා අයුරින් ජනතාවට සන්නිවේදනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔහු සතු විය.

ජයවර්ධන පුර කෝට්ටේ ඉපදී හැදී වැඩුණු ජයලාල් රෝහණ, මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙනි. 1980 වසරේදී උසස් පෙළින් සමත් වූ ඔහු අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, මහාචාර්ය ඈෂ්ලි හල්පෙ යන වියතුන් සමඟ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දැක්වීමට ඔහුට අවස්ථාව හිමිවිය.

ඔහු ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි. පසු කලෙක ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කථාකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙස ද ‍සේවය කළේය. ඔහු දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද වූයේය.

වේදිකා නාට්‍යවල අංග රචනය පිළිබඳ ‘සැබෑ මුහුණේ වෙස් මුහුණු’ යන කෘතිය ද, වේදිකා රංගාලෝකය පිළිබද සබේ විදුලි විලක්කුව යන කෘතිය ද ඔහු රචනා කළ අතර, එම ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් ම කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.

මුහුදු ගිය, සපත්තු කබල සහ මරණයක්, මුහුදු පුත්ත, ඉසුරු යෝගය, අයෝමා, එකට ගැටුම, සඳගල තැන්න, නිම්නයක හුදකලාව, ටිකිරි සුවඳ, මාත් එක්ක නටන්න, සොක්‍රටීස්, සිකුරා, කැළණි පාලම ආදී ටෙලි, සිනමා හා වේදිකා ක්ෂේත්‍ර රැසක සිය ප්‍රතිභාව විදහා ඇති ජයලාල් රෝහණ කලාකරුවා සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණ නම් චරිතය වෙනුවන් දැක්වූ රංගන දායකත්වය සඳහා 2006 වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේ, රාජ්‍ය සම්මාන උළෙලේ සහ සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මිය යන විට ඔහු 56 වැනි වියේ පසුවිය.

Rivira FB Group Rivira Youtube
To Top