දේශීය පුවත්

විවාහ වීමේ අවම වයස අවුරුදු 18ක් ලෙස මුස්ලිම් නීතිය සංශෝධනයට කටයුතු කරනවා – අධිකරණ ඇමති

විවාහ වීමේ අවම වයස වයස අවුරුදු 18ක් ලෙස මුස්ලිම් නීතිය සඳහා සංශෝධන සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් කෙසේවෙතත්, අඩු වයස් සීමාවේ දරුවන් සිටින මව්වරුන්ගෙන් 80%ක් දෙනා මුස්ලිම් සමාජයෙන් පිට අය බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි පෙබරවාරි 12 වන දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

එහිදී අමාත්‍යවරයා,’2020 නොවැම්බර් මාසේ මම මේ වන විටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා, මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවොත් විවාහ වෙන්න බෑ.

අවුරුදු 18ක අවම විවාහ වයසක් තිබිය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවන්ට කාතිවරුන් වශයෙන් කටයුතු කළ හැකියි කියලා යෝජනාවක් අපි කරලා තියෙනවා. කාන්තාවක් විවාහ වෙනකොට අත්සන් කළ යුතුයි කියලාත් අපි යෝජනා කරලා තියෙනවා. ඒකට කමිටුවකුත් දාලා තියෙනවා. අපි මේක ක්‍රමක්‍රමයෙන් මේ සම්බන්ධයෙන් පියවර අරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරලා, විවාහක වයස සම්බන්ධයෙන් ඒ දේවල් සංශෝධනයට කටයුතු කරගෙන යනවා. ඉදිරියටත් ඒක කරගෙන යනවා.

ඒ සම්බන්ධයෙන් වෙනම මං උපදේශක කාර්යමණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සමාජයක් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඇඟට මේක බලහත්කාරයෙන් ඔබ්බවනවා වෙනුවට ඔවුන්ගේ කැමැත්ත ලබා ගෙන මේ දේ කරන්නට උත්සාහයක් කරගෙන ඉන්නවා. මම දැඩිව විශ්වාස කරගෙන ඉන්නවා ඒක අපිට කරන්න පුළුවන් වෙනවා කියන එක.

පොඩි දරුවෝ විවාහ වෙන්න හොඳ නැහැ. අවුරුදු 18කට පසුව විවාහ වෙනකොට තමයි ඔවුන්ට ඒ හැකියාව තියෙන්නේ. ඒ නිසා මං ප්‍රතිපත්තියක් වශයෙන් අවුරුදු 18 වෙනකන් විවාහ වීමට ඉඩ දිය යුතු නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා.

නමුත් ලංකාවේ අඩු වයසේ විවාහ කෙසේවෙතත් අඩු වයසේ දරුවන් ලැබුනු අම්මලා ඉන්නවා. ඒකෙන් 80%කට වැඩිය මුස්ලිම් සමාජයෙන් පිට අය බවටත් අපි වටහා ගන්නට ඕනේ. විවාහ ලියාපදිංචි වෙලා නැති වුනාට ඒ දරුවෝ අම්මලා වෙලා.

අනිවාර්යයෙන්ම මුස්ලිම් නීතිය වෙනස් කිරීම සඳහා, සංශෝධනය කිරීම සඳහා අපි කටයුතු කරනවා. පොදුවේ එක රටක එක නීතියක් යනුවෙන් පුද්ගල නීති සියල්ල අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් එය සම්පූර්ණයෙන් සමාජ කතිකාවතක් ඇතිව සියලුම පුද්ගලික නීතින් එකට අහෝසි කරන අවස්ථාවේ දි සිදු කළ යුතුයි කියන එකයි අපි පිළිගන්නේ. එය කළ යුතුයි කියලා රජය කල්පනා කරන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කරලා අලුත් ව්‍යවස්ථාවක් එක්ක කටයුතු කළ හැකි බව මම විශ්වාස කරනවා.’ යැයි පැවසුවා.

Rivira FB Group Rivira Youtube
To Top