කොවිඩ්-19

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පෙරමුණේ සිටින්නන්ටත් කොරෝනා එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාවය – නීතිඥ සංගමයේ ඉල්ලීම ඵළ දරයි

විනිසුරුවරුන්, නඩු පවරන්නන්, අධිකරණ කාර්ය මණ්ඩලය, නීතිඥවරුන්, පොලීසිය සහ බන්ධනාගාරය ඇතුළු නීති පද්ධතිය තුළ ඉදිරි පෙළ කාර්යභාර්යක් සිදුකරන සහ මහජනතාව සමග නිරන්තරයෙන් කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අතර පෙබරවාරි 16 දින හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි පැවැති එම සාකච්ඡාවේ දී කොරෝනා එන්නත එම පිරිසට ප්‍රමුඛතාවයකින් යුක්තව ලබා දීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා එම ඉල්ලීම ඉක්මණින්ම ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දී ඇත.

කොරෝනා එන්නතේ සැපයුම් හඳුනා ගැනීමෙන් පසු හැකි ඉක්මනින් එම ප්‍රජාව සඳහා එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බව ද යුද හමුදාපතිවරයා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.

කෙටි දැනුම් දීමකින් එම සාකච්ඡාවට අවස්ථාවක් වෙන්කර දීම සහ ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපතිවරයා යුද හමුදාපතිවරයා සිය ප්‍රණාමය පුද කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබා ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top