දේශීය පුවත්

නීතිඥ සංගම් නිලවරණය මඩ වගුරක් වෙයි, හඬපට සෙල්ලමකුත් එළියට

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටයි. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා ජනවාරි 11 දින සිය නාම යෝජනා බාර දී ඇත. මෙවර නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන්නේ සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් වන අතර නිලවරණ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදුවෙයි.

මෙවර නිලවරණය නීතිඥ සංගම් ඉතිහාසයේ නිලවරණ අතරින් වඩාත් කතාබහට ලක් වූ නිලවරණයකි. ඊට හේතු වී ඇත්තේ නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ ආධාරකාර නීතිඥවරුන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා පහත් පෙලේ මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටීමයි. අන්කවරදාටත් වඩා මෙවර නිලවරණයේ දී ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් තම අපේක්ෂකයාට එරෙහිව තරඟ කරන අපේක්ෂකයා ඉලක්කර මඩ ව්‍යාපාර දියත් කිරීම මෙවර සුලභ සිදුවීමක් බවට පත්ව ඇත.

ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසාට එරෙහිව මේ වනවිට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ඔහුට සහය පළ කරන නීතිඥවරුන් පෙන්වා දෙනවා. මේ වනවිට “මාධ්‍යවේදියෙකු” ලෙස කුවේරා ද සොයිසා වෙත ගනු ලැබූ දුරකතන ඇමතුමක හඩපටයක් බව කියනු ලබන හඬපටයක් ද “ලංකාඊනිවුස්” වෙබ් අඩවිය මගින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එමගින් ඉදිරි දින කිහිපය තුළ “සාලිය පීරීස්ට එරෙහිව සිදුකරනු ලබන මාධ්‍ය මෙහෙයුමක්” පිළිබඳ සාකච්ඡා කෙරෙන අතර ඒ සඳහා මුදල් යෙදවිය යුතු බවට ද මාධ්‍යවේදියා ලෙස කතා කරනු ලබන පුද්ගලයා යෝජනා කර සිටින අයුරු එහි දැක්වෙනවා. කෙසේ‌ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසාට සහය පළ කරන නීතිඥවරුන් කියා සිටින්නේ එවැනි කිසිඳු දුරකතන ඇමතුමක් සිය අපේක්ෂකයාට ලැබී නොමැති බවයි. එසේම එම “ව්‍යාජ හඬ පටය” සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා විසින් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද එම නීතිඥවරුන් පවසනවා.

මේ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට සහය පළ කරනු ලබන නීතිඥවරුන් කියා සිටින්නේ ද තම අපේක්ෂකයාට එරෙහිව ජාතිවාදය, ආගම්වාදය අලලා මඩ ව්‍යාපාරයක් දියත් වෙමින් පවතින බවයි. වට්ස්ඇප් ඔස්සේ සහ ෆේස්බුක් පිටුවක් ඔස්සේ තම අපේක්ෂකයාට එරෙහිව එම ව්‍යාපාරය සිදුකරගෙන යන බව ද ඔවුන් කියා සිටී. එසේම, අවසන් දින කිහිපය තුළ ද තව තවත් ව්‍යාජ චෝදනා එල්ල කරමින් තම අපේක්ෂකයාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීම පිළිබඳව ද තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව එම නීතිඥවරුන් පවසනවා.

අපේක්ෂකයින් දෙදෙනාට සහය දෙන්නේ කවුද?

2021 නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයෙකු වී ඇත්තේ යහපාලන රජය විසින් ස්ථාපිත කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සහ සීඑෆ්පීඑස් පුද්ගලික නීති අධ්‍යාපන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් වේ.

ඔහුගේ නම යෝජනා කර නාමයෝජනා පත්‍රවලට අත්සන් කර ඇත්තේ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගීස්වරන්, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ සංජය ගමගේ, නීතිඥ ශිරන්ති ගුණවර්ධන, නීතිඥ හේමක සේනනායක, නීතිඥ රසික දිසානායක, නීතිඥ සනත් විජේවර්ධන සහ නීතිඥ ෂිවාන් කුරේ යන නීතිඥවරුන් සහ නීතිඥවරියන් වේ. මීට අමතරව ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට සහය දෙන පිරිස් අතර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්, හිටපු රාජ්‍ය අමාත්‍ය, නීතිඥ අජිත් පී. පෙරේරා, රයිට්ස් නව් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රැසක ප්‍රධානත්වය ගෙන කටයුතු කළ සහ යහපාලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ නීතිඥ ගුණරත්න වන්නිනායක, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ නුවන් බෝපේගේ වැනි පිරිස් සිටී.

2021 නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටින අනෙක් අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා කණිෂ්ඨ නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා යි.

ඔහුගේ නම යෝජනා කළ පිරිස අතරට නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්‍රාල්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා, නීතිඥ කෞෂල්‍ය නවරත්න ඇතුළු පිරිසක් සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top