දේශීය පුවත්

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණය පෙබරවාරි 24 වැනි දින නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී පැවැත්විණි.

සභාපති ධූරය සඳහා තරඟ වැදුනු නීතීඥ කුවේර ද සොයිසා සහ නීතීඥ සාලිය පීරිස් අතරින් වැඩි ඡන්ද 2355කින් නීතීඥ සාලිය පීරිස් 2021/2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට තේරී පත් වී ඇත. මෙවර ඡන්දය සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 දෙනෙකු පමණ ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගෙන ඇත.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඡන්ද 5162ක් ද නීතීඥ කුවේරද සොයිසා ඡන්ද 2807ක්ද ලබාගෙන ඇත.

ශාන්ත ජෝසෆ් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිමා කර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1992 නොවැම්බර් 19 නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති සාලිය පීරිස්, 1993 වසරේ දී වැඩබලන රජයේ අධිනීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර 1996 දක්වා රජයේ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. 1998 වසරේ දී විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ මූලික උපාධියක් සම්පූර්ණ කර ඇති සාලිය පීරිස් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික නීති අධ්‍යාපන ආයතනයක් වන සීඑෆ්පීඑස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

2006 වසරේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධියක් ලබාගෙන තිබෙන ඔහු 1998 වසරේ සිට පෞද්ගලික නීතිඥවරයෙකු ලෙසත්, නීති ප්‍රවේශ විභාග සඳහා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. 2015-2017 කාල සීමාව තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සාලිය පීරිස් 2017 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී ඇති අතර 2018 වසරේ සිට 2020 වසර දක්වා අතුරුදහන් වූවන් පිළිබඳ ලේකම් කාර්යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top