දේශීය පුවත්

විභාග පවත්වා තෝරාගත් විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම පසෙක දමා අල්ලස් කොමිසම නීති අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීමට යයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) තනතුරු 14ක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට එම කොමිසම විසින් 2021.02.19 දින දැන්වීමක් පළ කර තිබේ.

කෙසේ වෙතත්, 2018 ජුනි 08 දින දැන්වීම් පළ කරමින් අති විශාල මුදලක් ද වැය කරමින් විමර්ශන නිලධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයක් හා සම්මුඛ පරීක්ෂණ ද පවත්වා ඔවුන්ගේ ලකුණු ද නිකුත් කර වසර එකහමාරකට වඩා වැඩි කාලයක් ගත වී තිබුණත් මෙතෙක් එම නිලධාරීන් කිසිවෙකු බඳවා ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර නොමැත.

එකී තනතුරු සඳහා අයදුම් කළ පිරිස බඳවා ගැනීමට භාණ්ඩාගාරයේ අනුමැතිය එතෙක් නොලැබුණු බව මුලින් ප්‍රකාශ කර ඇති‌ කොමිසම පසුව සඳහන් කර ඇත්තේ ඔවුන් අතරින් මුලින් 50%ක පිරිසක් 2020 වසර තුළත් ඉතිරි පිරිස 2021 සඳහා අයවැයෙන් මුදල් වෙන් කළ පසුවත් බඳවා ගන්නා බවයි. නමුත් එය සිදු නොවූ විට අල්ලස් කොමිසමෙන් එකී පිරිස කළ විමසීමක දී ඔවුන් වෙත දැනුම් දී තිබුණේ කාර්යාල පරිශ්‍රය තුළ ඉඩ කඩ නොමැති බැවින් මෙම පිරිස බඳවා ගැනීම තවත් කල් යනු ඇති බවයි.

මේ වනවිට විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වසර 3කට ආසන්න කාලයක් ගත වී තිබුණත් අල්ලස් කොමිසමට අත්‍යවශ්‍යම නිලධාරීන් වන එම කණ්ඩායම බඳවා නොගෙන වෙනත් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට යාම කෙතරම් හාස්‍යජනක තත්වයක් ද යන්න එම කොමිසමේ කොමසාරිස්වරුන්ට නොවැටහීම පුදුමයට කරුණකි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූලිකම කාරණය වන විමර්ශන කටයුතු මේ වනවිට මෙහෙයවන්නේ ශ්‍රී ලංකා පොලීසියෙන් අනියුක්ත කරගත් පිරිසකි.

– සත්‍යජිත් කරුණාරත්න

Rivira FB Group Rivira Youtube
To Top