දේශීය පුවත්

නීතිපතිධූරය සඳහා සංජේ රාජරත්නම්ගේ නම පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණයට යොමු කෙරේ

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වන නීතිපති තනතුර සඳහා වැඩ බලන සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ නම පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණය සඳහා යොමු කොට ඇති බව කතානායකවරයා සඳහන් කළා.

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය වැඩ තහනමට ලක්වීම නිසා සොලිසිටර් ජනරාල් ධූරයේ වැඩ බැලීමට සංජේ රාජරත්නම් මහතා පත්කර තිබුණි.

ශාන්ත පීතර විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සංජේ රාජරත්නම් මහතා 1987 නොවැම්බර් 06 වන දින ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.

2014 වසරේ දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති ඔහු එංගලන්තයේ සොලිසිටර්වරයෙකු ද වන අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාද් උපාධිය ද හිමිකරගෙන ඇත.

1988 වසරේ අප්‍රේල් මස දී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති සංජේ රාජරත්නම් මහතා 33 වසරක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top