ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැයි 17 දින නිකුත් කර ඇති එම නිවේදනයෙන් අගමැතිවරයා දෙපාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙසයි. එම සම්පූර්ණ නිවේදනයේ සරල පරිවර්ථනයක් පහතින්.
උපුටා ගැනීම
“ඊශ්‍රායල්-පලස්තීන කලාපය තුළ මෑතදී ඇති වූ සටන් පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි. මේ වන විටත් ගැටුමේ දෙපැත්තේම ජනතාවට කිව නොහැකි දුක් වේදනා ඇති වී තිබේ. දරුවන්ගේ මරණ ද ඇතුළුව අදාළ භූමි ප්‍රදේශවල වෙසෙන ජනතාවට බොහෝ හානියක් හා සිත්තැවුලක් ඇති කරනවාට අමතරව, මෙය අසල්වැසි කලාපය තුළට පැතිරීමේ විභවයක් ඇති ගැටුමක් විය හැකි අතර එමඟින් මුළු මහත් ලෝකයටම විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
පලස්තීන ජනතාවගේ ප්‍රශ්නය නිර්මාණය කිරීම යටත් විජිතවාදයේ ඍජු ප්‍රතිඵලයකි.
පලස්තීන අරමුණු සඳහා දීර්ග කාලීන සහයකයෙකු ලෙස සහ පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ ආරම්භක සභාපතිවරයා වශයෙන්, පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට ඇති නීත්‍යානුකූල අයිතිය තහවුරු කළ යුතුය යන ස්ථාවරය මම සැමවිටම දරමි. සුවිශේෂී ජනතාවක් ලෙස ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් ය. පලස්තීන ප්‍රශ්නයට කල් පවත්නා විසඳුමක් සඳහා පලස්තීන සහ ඊශ්‍රායල් ජනයාගේ නීත්‍යානුකූල හා සංවේදී අවශ්‍යතා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
දෙපාර්ශවයේම නීත්‍යානුකූල අභිලාෂයන්
සඳහා අන්‍යනොන්‍ය වශයෙන් එකඟ වී සියලු කාරණා සාකච්ඡා මාර්ගයෙන් ස්ථිර ලෙස විසඳා ගැනීම තුළින් ඊශ්‍රායල් හා පලස්තීන ජනතාවට තිරසාර සාමය, ආරක්ෂාව ඇති කර ගැනීමට හැකි බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි.
ඊස්රායල්-පලස්තීන කලාපය ලොව පුරා විවිධ විශ්වාසයන්ට ශුද්ධ භූමිය බව මගේ අවංක විශ්වාසයයි. එනිසා සංයමයෙන් කටයුතු කරමින් සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස මම දෙපාර්ශ්වයම උනන්දු කරමි.”

