Business

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කරයි

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා ‌අබේවර්ධන මහතා විසින් මැයි 18 පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ‌ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

ඒ අනුව එවැනි වගන්ති අතරින් ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවත් ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් (2/3) සහ ජනමත විචාරණයකින් සම්මත වීම අත්‍යවශ්‍ය බව ශ්‍රෙෂ්ඨාධීකරණයේ මතය වී තිබේ. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති ආකාරයෙන් එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එකී පටහැනිභාවයන් ඉවත්වන බව ද එහි වැඩිදුරටත් දැක්වේ. කතානායකවරයා විසින් දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ මතයේ සම්පූර්ණ සිංහල පරිවර්ථනයක් මෙම ලිපිය අවසානයේ දක්වා ඇත.

ඒ අනුව අද (18) සහ හෙට (19) යන දිනයන්හිදී මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇති.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම මැයි 20 දින පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි. මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීම

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් විශේෂ පෙත්සම් දහනමයක් ඉදිරිපත් කර තිබිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජී.එල්.ආර්. පෙරේරා, ගාමිණී වියන්ගොඩ, එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එහි සභාපති වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එහි තරුණ පෙරමුණේ හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්. ශ්‍යාමලී, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, නීතිඥ රජිත කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි ලේකම් රජීව් අමරසූරිය, රවීනා ගයේන්ද්‍රි ද සිල්වා මෙම පෙත්සම්කරුවෝ වුහ.

එසේම පනත් කෙටුම්පතට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක් දුමින්ද නාගමුව, ඩබ්ලිව්. ඒ.එච්. කුමාර, ආර්. රාජපක්ෂ යන අය විසින් ඉදිරිපත් කර තිබිණි.

පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව පවසමින් අතරමැදි පාර්ශව පෙත්සම් එකොළහක් ද ගොනු කර තිබුණි.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ලක්ෂ්මන් පීරිස් භාණ්ඩාගාර ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, චමින්ද විදානගමගේ, එච්.එම්. විජිත් හේරත්, නලීන් සමරකෝන්, පී.බී. පතිරණගේ යන අය විසින් එම පෙත්සම් ගොනු කර තිබිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් විභාගය සිදුවිය.

ශ්‍රේෂ්ඨාධීකරණ මතය ‌මෙසේය.

යෝජිත පනත් කෙටුම්පතේ 3(6), 30(3) අතුරු විධානය, 55(2) සහ 58(1) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 3(5) අතුරු විධානය, 3(7), 6(1)(ආ), 30(3) පළමු අතුරු විධානය, 71(1) සහ 74 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 3(4), 6(1)(u), 68(1)(f) සහ 68(3)(a) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 සහ 4 ව්‍යවස්ථා යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් හා 83 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතියෙන් පමණක් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 52(3) සමග කියවිය යුතු 52(5) සහ 71(2)(p) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 සහ 4 හා 76 ව්‍යවස්ථා යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් හා 83 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතියෙන් පමණක් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 30(1), 33(1), 40(2) සහ 71(2)(i) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(H) ව්‍යවස්ථාව යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 53(2)(b) සමග කියවිය යුතු 53(3)(b) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 සහ 4 හා 76 ව්‍යවස්ථා යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් හා 83 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතියෙන් පමණක් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 60(c), 60(f) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

එසේම යෝජිත පනත් කෙටුම්පතේ 37 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(g) ව්‍යවස්ථාව යටතේ පටහැනි බවත් මෙම වගන්ති සහිතව පනත් කෙටුම්පත නීත්‍යානුකූල ලෙස සම්මත කිරීමට හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධීකරණය දන්වා ඇත.

කෙසේ වෙතත්, ඉහත සියලු වගන්ති ශ්‍රේෂ්ඨාධීකරණය දක්වා ඇති ආකාරයෙන් සංශෝධනය කරන්නේ නම් එකී පටහැනිභාවයන් ඉවත්වන බව ද එහි සඳහන් වේ.

පනත් කෙටුම්පත මෙතැනින්

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙතැනින්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top