Business

සංචරණ සීමා පනවා ඇති බැවින් ණය හා ලීසිං සහන ලබා දෙන්නැයි ජනතාව ජනපතිගෙන් ඉල්ලයි

කොවිඩ්-19 ව්‍යාප්තියේ 3 වන රැල්ල හමුවේ රට පුරා සංචරණ සීමා පනවා තිබුණත් බැංකු ණය හා ලීසිං සඳහා සහන ‌ලබා දී නොතිබීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. මැයි මස 11 දින සිට දිවයින පුරා පළාත් අතර සංචරණය සීමා කර ඇත්තේ මැයි 30 දක්වා බලපැවැත්වෙන පරිදිය. ඊට අමතරව දීර්ග සති අන්තවලදී මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇත. එවන් අවස්ථාවලදී හැඳුනුම්පත් අංකය අනුව හෝ නිවසින් බැහැර විය නොහැකි බව දැනුම් දී ඇත.

පීඩාවට පත් ජනතාව පවසන්නේ ඇඳිරි නීතියට බොහෝ සෙයින් සමාන තත්වයක් ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක ‌කෙරෙන බවයි. එබැවින් තම එදිනෙදා ව්‍යාපාර කටයුතු කිරීමට දැඩි බාධාවක් සිදුව ඇති බව ද පවසනවා. නිසි පරිදි ලියාපදිංචි කර නොමැති ව්‍යාපාර සිදුකරන පුද්ගලයින්ට තමන් සිදුකරන ව්‍යාපාරික කටයුතුවලට යාමේ දී ඒ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ලේඛණ, හැඳුනුම්පත් වැනි දෑ නොමැති බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ මෙම තත්වය හමුවේ තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.

එසේම වෘත්තිකයින් කටයුතු කරන බොහෝ පිරිසකට මෙමගින් දැඩි පීඩා එල්ල වී තිබෙන්නේ තම සේවාදායකයින් නිසි පරිදි ගෙන්වා ගැනීමට මෙම තත්වය ඍජුව බලපෑම් කර තිබීම හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ‌මනෝ උපදේශකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින්ගේ සායන නිසි පරිදි ක්‍රියාත්මක කරගත නොහැකි වී තිබෙන්නේ එවැනි තත්වයන් හදිසි සෞඛ්‍ය තත්වයන් සේ සළකා එවැනි සායන සඳහා සහභාගී වීමට නිවසින් බැහැරවිය නොහැකි බැවිනි. යම් හෙයකින් එලෙස ගියහොත් රෝගීන්ට තමන්ගේ අසනීප තත්වය පොලීසිය වෙත පැහැදිලි කිරීම අසීරු බව ඔවුන් පෙන්වා දෙනවා.

නීතිඥවරුන්, ‌වාස්තු විද්‍යාඥයින්, මෘදුකාංග ඉංජිනේරුවන් හා ඡායාරූප ශිල්පීන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් වෘත්තිකයින් මෙම ගැටළුවට ඍජුව මුහුණ දී තිබෙන්නේ තමන්ගේ ලබාගන්නා සේවාවන් “අත්‍යවශ්‍ය සේවා” ඝනයට අයත් නොවී තිබීමෙන් තම සේවාදායකයින්ට තමන්ගේ සේවය ලබා ගැනීමට පැමිණීමට සංචරණ සීමා බාධාවක් වී ඇති බවයි.

එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇති ව්‍යාපාරික අවස්ථා ද වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් විසින් අත්පත් කරගනිමින් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා. උදාහරණයක් වශයෙන් නිවසකට ආසන්නයෙන් තිබෙන සිල්ලර ‌කඩෙන් බඩු මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට හැඳුනුම්පත් අංකය අනුව නිවසින් බැහැර වීමේ අවශ්‍යතාවය හේතුවෙන් සුපිරි වෙළඳසැල් මගින් නිවසට ගෙන්වා ගැනීමේ සේවා සඳහා ඔවුන් වැඩිපුර යොමු වී ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙනවා.

මෙම තත්වය හමුවේ බැංකු හා මූල්‍ය ආයතන මගින් ලබාගෙන ඇති මූල්‍ය සේවා (ණය හා ලීසිං) පහසුකම් සඳහා කිසිඳු සහනයක් නොලැබීම තමන් කබලෙන් ලිපට වැටීමක් බව ඔවුන් පෙන්වා දෙනවා.

පළමු රැල්ල ඇති වූ අවස්ථාවේ රජය විසින් මාස 6ක ණය සහනයක් ලබාදුන් අතර දෙවන රැල්ලේ හානිය තවත් ප්‍රබල වනවිට ණය සහනය තෝරාගත් ක්ෂේත්‍ර සඳහා දීර්ග කළත් බරපතලම අවදානමක් සහිත 3 වන රැල්ලට අදාළව මෙතෙක් ණය සහනයක් ලබා දී ‌නැත.

එහෙත් තමන් දුෂ්කරතාවයට පත්ව ඇති නිසා සංචරණ සීමා ඉවත් කරන ලෙස ඉල්ලා කොවිඩ් පාලනය අසීරු කිරීමට තමන්ට අවශ්‍ය නැති බව ඔවුන් පෙන්වා දෙයි. එබැවින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමන් නැවත ව්‍යාපාර කටයුතු සිදුකර යළිත් උපයන තෙක් තමන් ලබාගෙන තිබෙන මූල්‍ය පහසුකම් සඳහා සහනයක් ලබාදෙන ලෙසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top