2021 මැයි 20 වන දින දහවල් කොළඹට නුදුරින් නැංගුරම්ලා සිටි ‘එක්ස්-ප්‍රෙස් පර්ල්’ නම් රසායන ද්‍රව්‍ය බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබේ. අනතුර වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව වහාම යාත්‍රා කිහිපයක් එම ස්ථානයට යොමු කර තිබුණි. පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් ද සමග ගිනි නිවීමේ කටයුතු ආරම්භ කර මේ වන විටත් ගිනි නිවීමේ කටයුතු වල නිරතව සිටී.
මෙම සිද්ධිය වාර්තා වන විට බහාලුම් නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් පමණ මෑතින් නැංගුරම් ලා තිබුණි.
සිංගප්පූරුවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව 2021 මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායෙන් නයිට්‍රික් අම්ල ටොන් 25ක් හා තවත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් රැගෙන එමින් සිට ඇත. අදාළ නෞකාව වරායට ඇතුළුවීම සඳහා මැයි 19 වන දින සිට එම ස්ථානයේ රැඳී සිට ඇත. පීඩාවට පත් බහාලුම් නෞකාවේ පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයන් වන 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර, ශ්‍රී ලංකා නාවික හා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලයෙන් සමන්විත විශේෂ කණ්ඩායමක්
ඊයේ සවස් වරුවේ නැවට ගොඩ වී නැවෙහි ඇති තත්ත්වය පරීක්ෂා කර ඇති අතර ඔවුන් සැක කරන්නේ එහි ප්‍රවාහනය කරන රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා කිරීම මත ගින්න ඇති වී තිබෙන බවයි.
එබැවින්, හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ විශේෂ කණ්ඩායම් එහි රැඳී සිටින අතර, ඇවිලී ගිය ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා මේ වන විට කටයුතු කරමින් සිටී.

